Sunday, July 11, 2010

කිළිනොච්චියේ කැබිනට් රැස්වීමකට සුදුසු වාතාවරණය නෑ


මීළඟ කැබිනට් රැස්වීම කිළිනොච්චියේ පැවැත්වීමට රජය ගෙන ඇත්තේ හදිසි තීරණයක් බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්දසංගරි මහතා පවසයි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ආනන්දසංගරී මහතා ප්‍රකාශ කර ඇත්තේ රජය කිළිනොච්චියේ කැබිනට් රැස්වීම පැවැත්වීමට ගනු ලැබූ තීරණය පිළිගත්ත ද ඊට සුදුසු වාතාවරණයක් තවමත් නොපවතින බවයි.

කිළිනොච්චි ප්‍රදේශය යනු යුද ගැටුම් හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රදේශය බව පෙන්වා දෙන ආනන්දසංගරී මහතා එම ප්‍රදේශයේ යළි පදිංචි කිරීමේ කටයුතු පවා තවමත් නිමා වී නැති බවද පෙන්වා දෙයි.

එවැනි ගැටලු පවතින අතරතුර රජයේ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් කිළිනොච්චියේ රැස්වීම් පැවැත්වීම ප්‍රදේශයේ ජනතාව කෙසේ පිළිගනීද යන්න පිළිබඳ සැකයක් පවතින බව ආනන්දසංගරී මහතා කියා සිටියි.

මේ හේතුවෙන් අදාළ කැබිනට් රැස්වීම මේ අවස්ථාවේ කිළිනොච්චියේ පැවැත්වීම පිළිබඳ යළි සිතා බලන ලෙස ආනන්දසංගරී මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. adaderana

0 comments:

Post a Comment