Thursday, February 10, 2011

පින්නවල අලි අනාථාගාරය වෙනත් තැනකට ගෙනයන්නේ නෑFebruary 10, 2011 04:55 pm

පින්නවල අලි අනාථාගාරය වෙනත් ස්ථානයකට ගෙන යන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල‍ හේරත් මහතා පවසයි.

පින්නවල අලි අනාථාගාරය දෙස් විදෙස් සංචාරකයින්ට වඩාත් ආකර්ශනීය ස්ථානයක් බවට පත්කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා දැනටමත් සැලසුම් සකස් කර ඇති බව ඔහු සඳහන් කරයි.

අලි ඇතුන් දියනෑම සඳහා මාඔයට රැගෙන යන අලිමංකඩ වෙනුවට වෙනත් අලි වැටක් ඉදිකිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව හෙතෙම කියා සිටියි.

එමෙන්ම මාඔය හරහා වේල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඉන්දු -ලංකා බෝට්ටු සේවය හෙට ඇරඹෙයිFebruary 10, 2011 04:41 pm

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පෞද්ගලික මගී හා භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවය හෙට(11) සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව හෙට දිනයෙහි ටොන් 300 ක බරකින් යුත් ලූණු, අර්තාපල් හා ධාන්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් රැගත් යාත්‍රාවක් ඉන්දියාවේ සිට කොළඹ වෙත ළඟාවන බව ද සඳහන්ය.

මෙම බෝට්ටු සේවය වසර 02 ක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද ගැටුම් තත්ත්වය නිසා ඇනහිට තිබිණි.

එමෙන්ම තූත්තුකුඩිය හා මාලදිවයින අතර භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කිරීම පිළිබඳව ද මේ වනවිට කටයුතු කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ ප්‍රධානීන් 06 දෙනෙකුට විවෘත වරෙන්තුFebruary 10, 2011 04:24 pm

එල්. ටී. ටී. ඊ සංවිධානය වෙත අරමුදල් සපයා දීමේ චෝදනා එල්ල වී ඇති, තහනමට ලක්ව තිබෙන දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ ප්‍රධානීන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය විවෘත වරෙන්තු නිකුත්කරනු ලැබීය.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවෙහි පෙනීසිටියේ නැත.

විත්තිකරුවන් මේ වනවිට අධිකරණය මගහැර සිටින බව මෙහිදී රජයේ නීතිඥවරයා කියා සිටියේය.

එම කරුණු සලකා බැලූ මහාධිකරණය එම විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා රහස් පොලිසිය වෙත විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබීය.

දෙමළ පුනරුත්ථාපන සංවිධානය සඳහා ලැබුණු අරමුදල් කොටි සංවිධානයේ අවි ආයුධ මිලදී ගැනීම ඇතුළු ක්‍රියාකාරකම් සඳහා යෙදවූ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.

අනතුරුව නඩු විභාගය ලබන 22 වන දිනට කල්දැමූ අධිකරණය එදිනට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද රහස් පොලිසියට නියෝග කරනු ලැබීය.

පාර වසා ඇත, කලින් එන්න -ශ්‍රී ලන්කන් දැනුම්දෙයි February 10, 2011 03:55 pm

විදෙස් ගමන් සඳහා කලින් ආසන වෙන්කරන ලද ගුවන්යානය පිටත්වීමට නියමිත වේලාවට වඩා අවම වශයෙන් පැය 04 ට පෙර සිය නිවෙස් වලින් පිටත්ව පැමිණෙන ශ්‍රී ලංකා එයාර්ලයින්ස් මගී ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එමෙන්ම ගුවන් තොටුපළ වෙත පැමිණීමේදී විකල්ප පිවිසුම් මාර්ග භාවිත කරන ලෙසද ඔවුන් ජනතාව වෙත දැනුම් දෙයි.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ශ්‍රී ලංකා -කැනඩා මිත්‍රත්ව මාර්ගය පෙබරවාරි 12 හා 13 යන දෙදින තුළ තාවකාලිකව වසා තිබීම මීට හේතුව බව ද සඳහන්ය.

මේ පිළිබඳව කාරුණික අවධානය යොමුකර සිදුවන අපහසුතාවයන් මගහරවා ගන්නා ලෙස ශ්‍රී ලංකා එයාර් ලයින්ස් මගී ජනතාව වෙත දැනුම් දෙයි.

පිළිතුරු සැපයීමට ඇමති නොමැති නම් නියෝජ්‍ය ඇමති සිටිය යුතුයිFebruary 10, 2011 03:21 pm

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් යොමුකරන ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට අදාළ ඇමතිවරයා නොමැති නම් නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ පාර්ලිමේන්තු සභා ගැබේ සිටිය යුතු බව කතානායකවරයා දැනුම් දී තිබේ.

අදාළ පිළිතුරු ලබාදීම අවශ්‍ය බැවින් නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ සිටීම වැදගත් බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද(10) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත.

තමා මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දැනුවත් කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

එසේ දැනුවත් කර තිබියදීත් ඔවුන් නොපැමිණීම පිළිබඳ තමාට කළ හැකි දෙයක් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට අදාළ අමාත්‍යවරුන් අද දින සභා ගැබේ නොසිටීම සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක දී මෙම දැනුවත් කිරීම් සිදුවූ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේය.

අවතැන් ජන සංඛ්‍යාව 140,665 ට අඩුවෙයිFebruary 10, 2011 09:27 am

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 140,665 දෙනෙකු දක්වා අඩු වී තිබේ.

තවදුරටත් අවතැන් වූ ජනතාව කඳවුරු 584ක් තුළ රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනු ලැබීය.

කෙසේ වුවත් පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 17 දෙනෙකු දක්වා ඉහළ‍ ගොස් තිබේ.

පුද්ගලයින් 11 දෙනෙකු විවිධ අනතුරුවලට ලක්ව තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව සිටින බව සඳහන්ය.

කෙසේ වුවත් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ 10ක් පමණ තවදුරටත් නාය යෑම් අවදානම් තත්ත්වයේ පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මේ හේතුවෙන් තවදුරටත් එම දිස්ත්‍රික්ක දෙක නාය යෑම් අවදානම් කලාප ලෙස නම් කර ඇති බව එම සංවිධානයේ භූ විද්‍යා හා නාය යෑම් අධ්‍යයන අංශයේ ප්‍රධානී ආර්. එම්. එස්. බණ්ඩාර මහතා කියා සිටියේය.

මේ අතර ගංවතුර තත්ත්වයන් හේතුවෙන් කොටුවී සිටින මන්නාරම කුංජිකුලම ගම්මානයේ ජනතාවට සහන සැලසීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ‍ඊයේ(09) පිටත්කර යවා තිබේ.