Friday, June 18, 2010

ශ්‍රී පාද අඩවියේ හෝටලයක්...


ශ්‍රී පාද කඳු මුදුනේ සංචාරක හෝටලයක් ඉදි කිරීමටත් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ පුරාවිද්‍යාත්මක අගයන් නොතකා එය ප්‍රතිසංස්කරණය කිරීමත් මගින් ආණ්ඩුව දැවැන්ත පුරාවිද්‍යාත්මක විනාශයකට අත ගසා තිබේ. සංචාරක කර්මාන්තය නැංවීම සඳහා යැයි කියමින් මේ කටයුත්ත සිදු කෙරෙමින් පවතී.

දළදා මාළිගාවේ පිවිසුම් දොරටුවේ සිට පත්තිරිප්පුව දක්වා කොන්ක්‍රීට් ගල් වර්ගයක් ඇතිරීම ආරම්භ කර ඇත්තේ මෙම වැඩපිළිවෙළ අනුව බව දැන ගැනීමට තිබේ. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලවත් විරෝධය නොතකමිනි.
මීට අමතරව ශ්‍රී පාද රක්ෂිතයේ සීතගඟුල ආසන්නයේ සංචාරක හෝටලයක් ඉදි කිරීම සඳහා වනාන්තරය හෙළි පෙහෙළි කර ඇත. මේ කටයුතු ආරම්භ කර ඇත්තේද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරවය. දළදා මාලිගාවේ කොන්ක්‍රීට් ගල් ඇතිරීමේ ක්‍රියාවලියේදී සහකාර පුරාවිද්‍යා කොමසාරිස් විජේපාල මහතා ඊට විරෝධය දක්වා මහනුවර පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.
පසුව පුරාවිද්‍යා කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් කොන්ක්‍රීට් ගල් ඇතිරීමට විරෝධය දක්වා ඊට විශේෂ ගල් වර්ගයක් නිර්දේශ කර ඇතත් ‍එම නිර්දේශය නොතකමින් කොන්ක්‍රීට් ගල් ඇතිරීම ආරම්භ කර තිබේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ ඉදි කිරීම සඳහා විරෝධය දැක්වී‍මේදී පුරා විද්‍යා පනත අභිබවා යාමේ ජනාධිපතිවරයා සතු බලතල භාවිතකරමින් මෙම ඉදි කිරීම් සිදු කර ඇති අතර ජනාධිපති බලතල ඒ සඳහා භාවිත කර ඇතත් ඒ වෙනුවෙන් ලිඛිත අවසරයක් ලබාදී නොමැත. මේ නීති විරෝධී කටයුතුවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාම හේතුවෙන් ඊට පළි ගැනීමක් වශයෙන් සහකාර පුරාවිද්‍යා කොමසාරිස් විජේපාල මහතාව කොළඹට මාරු කර යවා ඇත්තේ රාජකාරි අවශ්‍යතාවක් සඳහා බව පවසමිනි.
සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් මීට පෙර සීගිරියේ ඉදි කිරීම්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විරෝධය මත නතර කිරීමට සිදු විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරා වස්තු විනාශය සඳහා එල්ල වන විරෝධය මග හරවා ගැනීම පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීමට සූදානම් වනබව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.lankatruth

0 comments:

Post a Comment