Tuesday, June 22, 2010

ලෝක වෙළඳපොළේ සහන ජනතාවට නොදෙන්නේ ඇයි? -අත්තනායක


ලෝක වෙළඳපොළේ භාණ්ඩ මිල පහළ යන විට එම සහනය ජනතාව වෙත ලබාදීමට රජය කටයුතු නොකරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක පවසයි. ලෝක වෙළඳ පොළේ භාණ්ඩ මිල ඉහළ යන විට ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල ද ඉහළ නැංවීමට රජය කටයුතු කළ ද සීනි, බොරතෙල් වැනි භාණ්ඩ වල මිල ලෝක වෙළඳපොළේ පහළ ගොස් ඇති අවස්ථාවක එම සහන ජනතාවට ලබා‍ දී නොමැති බව අත්තනායක මහතා පෙන්වාදෙයි. අයවැයෙන් ද සහන බලාපොරොත්තු විය නොහැකි බව ඔහු අවධාරණය කරයි.

එමෙන්ම රජයේ මතට තිත වැඩපිළිවෙල මේ වන විට සම්පූර්ණයෙන්ම අසාර්ථක තත්ත්වයට පත්ව ඇති බවත්, රජයේ සුරාබදු ආදායම පසුගිය වසර දෙක තුළ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත් එම පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කළේය. මෙසේ සුරාබදු ආදායම ඉහළ යාම තුළින් පෙන්නුම් කරන්නේ ජනතාව විශාල වශයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නොවේද යන්න ඔහු ප්‍රශ්න කරයි.

විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මහලේකම්වරයා මේ අදහස් පළ කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා වලට අනුව වයස අවුරුදු 15 සහ 64 අතර ජනතාවගෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු පුද්ගලයින් සංඛ්‍යාව 24%කින් ඉහළ ගොස් ඇති බව තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි. මේ අනුව රජයේ මතට තිත වැඩපිළිවෙලේ අසාර්ථක භාවය මනාව පැහැදිලි වන බව ඔහු පෙන්වා දුන්නේය. adaderana

0 comments:

Post a Comment