Saturday, March 20, 2010

ඇමති දුමින්දගේ බල මහිමයෙන් වූ පොලිස් පරීක්ෂකගේ ස්ථාන මාරුව අත්හිටුවන්නැයි මැ.කො. ට ඉල්ලීමක්


අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් අනුරාධ පුර ගල්කුලම ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකුට පහරදී අනතුරුව ඇමතිවරයා මැදිහත්වී එම නිලධාරියාට ලබාදී ඇති ස්ථාන මාරුව වහා අවලංගුකරන ලෙස මානව හිමිකම් පිළිබද විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.
පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ජාලය මැතිවරණ කොමසාරිස්වරයාට යොමුකළ ලිපියයි.
අනුරාධපුර මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්‍ෂක සුමිත් මුණසිංහ මහතාට 2010.03.16 වන දින අනුරාධපුර ගල්කුලම හන්දිය ප‍්‍රදේශයේදී අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් විසින් දේශපාලන හේතූන් මත ඇතිවූ බහින්බස් වීමකදී පහරදීමක් සිදුවී ඇති බවටත් ඒ හේතුවෙන් සුමිත් මුණසිංහ මහතා තුවාල ලබා අනුරාධපුර රෝහලේ වාට්ටු අංක 20 හි ප‍්‍රතිකාර ලබන බවටත් මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂණ ජාලය වෙත වාර්තා වී ඇත.
පසුව අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහ උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතාගේ බලපෑම් මත පොලිස් පරීක්‍ෂක සුමිත් මුණසිංහ මහතාට ස්ථාන මාරුවක් ලබා දී ඇත. මැතිවරණ නීති-රීති නිසි පරිදි ක‍්‍රියාවේ යොදවන පොලිස් නිළධාරීන්ට දේශපාලනයඥයන් විසින් සිදුකරනු ලබන බලපෑම් මත ස්ථාන මාරු ලබා දීම මැතිවරණ නීති-රීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි.
එබැවින් වහා ම අදාල ස්ථාන මාරුව අවලංගු කිරීමට පොලිස්පතිතුමාට උපදෙස් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තුතියි.
මෙයට,

ආචාර්ය උදිත ගුණසේකර,
ප‍්‍රධාන විධායක - NEM IHR - lankatruth

0 comments:

Post a Comment