Tuesday, July 13, 2010

ආණ්ඩුවේ උගුලට යූ.ඇන්.පී ත් අහුවෙලා


ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන උගුලට යූ.ඇන්.පියත් අසුවී ඇති බව ජ.වි.පෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

රටේ උත්තරීතර නීතිය වන ව්‍යවස්ථාව අයත් වන්නේ රටේ පක්ෂ දෙකකට පමණක් නොවන බවත්,මේ වන විට ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින්නේ යූ.ඇන්.පිය සමග පමණක් බවත් හෙතෙම සඳහන් කරයි.

විනිවිද භාවයෙන් තොර මෙවැනි සාකච්ඡා දිගින් දිගටම පැවතී ඇති මුත් එමගින් රටට වැඩදායි යමක් සිදුවනවාට වඩා සිදුව ඇත්තේ අහිතකර දේවල් පමණක් බවත් එබැවින් මෙම සාකච්ඡා රටට අනතුරුදායක බව පමණක් කල්තියා අඟවා තැබීම යහපත් බවත් ඔහු කියා සිටියි.

ව්‍යවස්ථාවේ අර්බුදය ඇත්තේ පවත්නා විධායකය තුළ බවත්,ආණ්ඩුව සෘජුව ප්‍රකාශ කළ යුත්තේ පවත්නා විධායකය අහෝසි කරනවාද නැද්ද යන්න බවත් මේ වන විටත් ඒ පිළිබඳ ස්ථාවරයක් ප්‍රකාශයට පත්කර නැති බවත් ජ.වි.පෙ ලේකම්වරයා කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි.

17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද මේ වන විට යූ.ඇන්.පිය සමග සාකච්ඡා කරමින් සිටින බවට වාර්තා වන බවත්,එසේ වුව ද 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අලුත් අංගයක් නොවන බවත් එය දැනටමත් ව්‍යවස්ථාවේ අන්තර්ගත බැවින් කළ යුත්තේ එය ක්‍රියාත්මක කිරීම පමණක් බවත් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය. adaderana

0 comments:

Post a Comment