Monday, December 13, 2010

වරකාපොළ කොල්ලකරුවන් ගැන තොරතුරු රැසක් හෙළිවෙයි


වරකාපොළ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන සිද්ධියට අදාළ කොල්ලකරුවන් කිහිපදෙනෙකුගේ තොරතුරු රැසක් හෙළිවී තිබේ.

ආරක්ෂක අංශ වෙඩි පහරින් මියගිය කොල්ල කල්ලි නායකයා වශයෙන් කටයුතු කර ඇති විශ්ව දේවයලාගේ සුමනරත්න නැමැත්තා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඌව පළාතේ පදිංචිකරුවන් බවට හෙළි වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය වසරේ බදුල්ලේ දුම්වැටි අලෙවි ආයතනයකට කඩා වැදී රුපියල් අනූ අට ලක්ෂ නව දහස් පන්සිය අනූ හතරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ කොල්ල කල්ලි නායකයා අධිකරණය මගින් වැරදිකරුවෙකු වු අයෙකු බවට ද හෙළි වී තිබේ.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් වෙඩි පහරින් මියගිය තවත් සැකකරුවෙකු වන බදුල්ල තැන්නපංගුව ප්‍රදේශයේ පදිංචි මුණසිංහ දේවයලාගේ සංජීව පුෂ්පකුමාර නැමැත්තා යුධ හමුදා කොමාන්ඩෝ බලකා‍යේ සිට පැනගිය සෙබලෙකු බවට ද අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරනු ලැබීය.

1999 වසරේ සිදුවු කැටවල බැංකු මංකොල්ලය ඇතුළු අපරාධ රැසක විත්තිකරුවෙකු ලෙසට මොහුට එරෙහිව නඩු පවරා ඇතත් ‍මොහු සුනාමියෙන් මියගිය අයෙකු බවට පවසා ඔහුගේ බිරිඳ විසින් බදුල්ල මහාධිකරණයට මරණ සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩු වාර්තාවෙන් මොහුගේ නම කටුගා දමා තිබේ.

මේ අතර සිද්ධියෙන් මියගිය මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේ පදිංචි දේවේන්ද්‍රයලාගේ කරුණාසේන නැමැති සැකකරුවා ද පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් සේවය කර වැඩ තහනමට ලක්වු අයෙකු බවට ද තොරතුරු හෙළි වී ඇත.

මොහු පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් බඩල්කුඹුර පොලිසියේ සේවය කරමින් සිටියදී ටි - 56 වර්ගයේ ගිනි අවියක් සොරාගෙන යාම සම්බන්ධයෙන් මෙසේ වැඩතහනමට ලක් වු අයෙකු බව පොලිසිය සඳහන් කරයි.
adaderana.lk

0 comments:

Post a Comment