Monday, December 13, 2010

ෆොන්සේකා හා ඔහුගේ ලේකම්ට එරෙහි නඩුවට දින නියමවෙයි


යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් සේවයේ යොදවා ඔවුන්ට වැටුප් ලබාදීම සම්බන්ධව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වාට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කරනු ලැබීය.

අදාළ නඩුව අද(13) කැඳවූ අවස්ථාවේදී සිර දඬුවම් විඳින සරත් ෆොන්සේකා සහ ඔහුගේ ලේකම් සේනක ද සිල්වා යන අය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙම නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන ලෙස එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ, මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය මෙම නඩුව ජනවාරි මස 12 වන දින විභාග කිරීම සඳහා දින නියම කරනු ලැබීය.

මෙහිදී දෙවන විත්තිකරු වන සේනක ද සිල්වාට ඇප නියමකරන මෙන් ඔහුගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා තිබේ. එම ඇප ඉල්ලීම සම්බන්ධව තරයේ විරුද්ධ වන බව එවිට රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අනුව ඇප ඉල්ලීම ලබන ජනවාරි 12 වන දින විභාග කරන බව විනිසුරුවරිය සඳහන් කළාය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් 10 දෙනෙකු සේවයේ යොදවා ඔවුන්ට වැටුප් ගෙවීම තුළින් විත්තිකරුවන් රජයට එරෙහිව කුමන්ත්‍රණයක නිරත වී ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.
adaderana.lk

0 comments:

Post a Comment