Thursday, January 13, 2011

ජනාධිපතිතුමා සජිත්ට බය වෙලාවත් ද?


මේ රටේ හිටපු ඇතැම් නායකයන් කොටින්ට ලබාදුන් ගිනි අවිවලින් අපේ සොල්දාදුවන් වෙඩි වැදී මිය යැමට හා ආබාධ වීමට සිදුවූ යුගය ඇතැමුන්ට අමතක වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.


දිවයින පුවත්පතට අනුව, හෙතෙම මේ බව කියා සිටියේ පෙරේදා (10 වැනිදා) පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්‌වාමීන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් සහ ධර්මායතන ආරක්‍ෂක සභාවේ සහයෙන් බත්තරමුල්ල, පැලවත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතෙහි අභිනවයෙන් ඉදිකරන ලද "ලක්‌විරු සෙවන" ආබාධිත රණවිරු නිෂ්පාදන අලෙවි සංකීර්ණය විවෘත කිරීම නිමිත්තෙන් පැවැති උත්සවය අමතමිනි.


වහෙන් ඔරෝ නො කියා කෙළින් කියනවා නම් මේ කියන නායකයා අන් කවරෙකුවත් නො ව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ය. ඇල්ලේ ගුණවංශ හිමි ප්‍රේමදාස ජනාධිපතිවරයා සමග සමීප ව සිටි අයෙකි. කොතරම් සමීප ද යත්, ‍ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ආදාහනය අවස්ථාවේ අවමංගල්‍ය පෙරහරේ ගමන් ගත් පිරිස් ගුණවංශ හිමියන්ගේ බෞද්ධාලෝක මාවතේ ආරාමයට ද ගල් ගැසූ හ. හේ දැනුත්‍ ප්‍රේමදාස පවුලට හිතවත් ය.


උන්නාන්සේවත් ළඟින් තබාගෙන ජනාධිපතිතුමා මේ කණේ පාර ගහන්නේ එතුමන්ගේ කණ්සෙන් පටන් ගෙන සජිත් ප්‍රේමදාසගේ කණ් අඩියට ම වදින්නට ය.


සජිත් ප්‍රේමදාස එජාපයේ නායකත්වය ගෙන ආණ්ඩුව පෙරළන සටනක් කරනු ඇතැයි ජනාධිපතිතුමා බිය වී තිබෙන බව පෙනේ. ඒ නිසා සජිත්ට අසුබ දසාවක් උදා වෙමින් තිබේ. පසුගිය දිනවල රනිල්ට විරුද්ධව කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂය අවුල් කරන්නට සජිත්ට ආණ්ඩු සහයෝගය ලැබුණු අතර හතර පස්දෙනෙක් හම්බන්තොට ගෙදරකට රැස් කර වේගවත් කතාවක් පවත්වා දිනපතා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ප්‍රමුඛ පුවතක් ලෙස ප්‍රචාරය කර ගන්න‍ට සජිත්ට අවස්ථාව ලැබිණි.


එජාප නායකත්වයට පත් වුවහොත් සජිත්ගේ ගමනට ආණ්ඩුව කලින් එලූ මේ මල් පාවාඩ කටු අකුල් බවට පත් වනු ඇත. එවිට අසූ නමය කාලයේ තාත්තා කළ ඝාතන හා කොටින්ට ආයුධ සැපයූ හැටි ආදිය පමණක් නො ව තව බොහෝ දේට උත්තර බඳින්නට සජිත්ට සිදු වනු නියත ය.


සජිත් රනිල්ට විකල්පයක් ද කියා හරියට දැන ගත හැකි වනු ඇත්තේ මේ අභියෝගවලට ඔහු මුහුණ දෙන ආකාරය අනුවයි.

0 comments:

Post a Comment