Thursday, June 17, 2010

විජයග්‍රහණ සැමරුමට පාර වැහෙන්නේ මෙහෙමයි


ගාලු මුවදොර පිටියේ හෙට පැවැත්වීමට නියමිත රණවිරු විජයග්‍රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරන පරිදි විජයග්‍රහණ සැමරුම් උළෙල වෙනුවෙන් වසා දමන මාර්ග වෙනුවට රථවාහන ධාවනය සඳහා විකල්ප මාර්ග නම් කර ඇත..

ගාලුපාර ඔස්සේ කොළඹට පැමිණෙන වාහන බම්බලපිටිය හන්දියෙන් දකුණට හරවා තුම්මුල්ල වටරවුම දක්වා පැමිණ එතැනින් වමට හැරී තර්ස්ටන් පාර, ජේ.ඕ.සී.හන්දිය පසු කර කේම්බ්‍රිජ් පෙදෙසින් දකුණට හරවා හෝර්ටන් වටරවුමට පැමිණ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මාවත, සොයිසා වටරවුම ඔස්සේ පැමිණ ඩීන්ස් පාරෙන් මරදාන පොලිසිය ඉදිරිපිටින් වමට හරවා මරදාන පාලම හන්දිය, ටෙක්නිකල් හන්දිය දක්වා පැමිණ, ඕල්කට් මාවත ඔස්සේ පිටකොටුවට ගමන් කළ හැක.

කොළඹින් පිටවන ගාලුපාර දෙසට ගමන් කරන වාහන පිටකොටුව සීනෝර් හන්දියෙන් ගුණසිංහපුර හන්දිය ටෙක්නිකල් හන්දිය දක්වා ගොස් එතැනින් දකුණට හරවා මරදාන පාලම එතැනින් දකුණට ගාමිණී වටරවුම, ඩාර්ලි පාර, ඉබ්බන්වල හන්දිය ලිප්ටන් වටරවුම, ධර්මපාල මාවත, එෆ්. ආර්. සේනානායක මාවත ඔස්සේ, සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මාවතෙන් දකුණට හරවා හෝර්ටන් වටරවුම, නන්දා මෝටර්ස් හන්දිය, කුරුඳුවත්ත වටරවුමෙන් දකුණට රීඩ් මාවත, තුම්මුල්ල වටරවුම, බුලස් පාර ඔස්සේ බම්බලපිටියට පැමිණ ගාලුපාරට ඇතුළුවිය හැක.

එසේම හෙට දින පෙරවරු 5.00 සිට උළෙල අවසන්වන තුරු පහත සඳහන් මාර්ග වසා දමීම සිදු වේ. ඒ අනුව ගාලුපාර සිට බම්බලපිටිය හන්දියෙන් කොළඹ දෙසට, කොම්පඤ්ඤවීදිය හන්දියෙන් ගාලු මුවදොර දෙසට, ගාලු මුවදොර වටරවුමෙන් ගාලුමුවදොර මැදපාරට, කොම්පඤ්ඤවීදිය හන්දියෙන් ජස්ටින් අක්බාර් මාවත , දෙසට, කොම්පඤ්ඤවීදිය හන්දියෙන් කුමාර රත්නම් පාර දෙසට ගාමිණී වට රවුම අසලින් ඩී. ආර්. විජේවර්ධන මාවතට ඇතුළුවීම, පිටකොටුව ඕල්කට් මාවත සිනෝර් හන්දියෙන් කොටුවට ඇතුළුවීම හා ඛාන් ඔරලෝසු කණුව අසලින් කොටුවට ඇතුළුවීමට හෙට දිනයේ අවසර නොමැති බව සඳහන් වේ. . adaderana

0 comments:

Post a Comment