Friday, July 9, 2010

එක්සත් ජාතීන් පිළිගැනීමේ වාසිය ලංකාවටමයි


එක්සත් ජාතීන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවට වැදගත් වන බව අමෙරිකා එක්සත් ජනපදය නැවතත් අවධාරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ යුද්ධය කාල සීමාව තුළ මානව හිමිකම් කඩ වී ඇද්ද යන කරුණ පිළිබඳව විමසා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත්කරන ලද කමිටුවට විරෝධය පාමින් එහි කොළඹ පිහිටි කාර්යාලය ඉදිරිපිට පැවත්වූ උද්ඝෝෂණය නිසා එම කාර්යාලය වසා දැමීමට සිදුවීම පිළිබඳව කරුණු දක්වමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව උපදෙස් ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කිං මුන් විසින් ත්‍රිපුද්ගල කමිටුවක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කළ අතර එම කමිටුවේ සභාපතිවරයා ලෙස ඉන්දුනීසියාවේ මර්සුකි දරුස්මන් පත් කරනු ලැබීය. සෙසු සාමාජිකයින් ලෙස දකුණු අප්‍රිකාවේ ජස්මින් සූකා සහ අමෙරිකානුවේ ස්ටීවන් රැට්නර් පත්විය.

මෙම කමිටුව හා ඔවුන් ලබාදෙන උපදෙස් පිළිගැනීම තුළින් ශ්‍රී ලංකාවට සාධනීය ප්‍රතිලාභ අත්කර ගත හැකි බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මාර්ක් ටෝනර් පවසයි. අමෙරිකාව විසින් මීට පෙර ද සිංහල හා ද්‍රවිඩ ජනතාව සම්බන්ධයෙන් දීර්ඝ කාලීන සමගි සන්ධානයකට එළඹෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේය.

මානව හිමිකම් පිළිබඳ වාර්තා නිසා පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව බටහිර රටවල් අතර සබඳතා අයහපත් මට්ටමක පැවතිය ද මෑතකාලීනව අමෙරිකාව ශ්‍රී ලංකාව සමග සබඳතා වර්ධනය කරගැනීමට උත්සාහ දරන බව පෙනීයයි. adaderana

0 comments:

Post a Comment