Thursday, April 8, 2010

ඡන්ද ප්‍රකාශය ඇරඹේ


හත්වන පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරාගැනීමේ ඡන්ද විමසීම අද පෙරවරු 7 .00ට ආරම්භ විය.
ඡන්ද විමසීම පස්වරු 4 දක්වා ක්‍රියාත්මක වනු ඇත. ඡන්ද මධ්‍යස්ථාන 11,098 කදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 14,088,500කි. කොළඹ, ගම්පහ, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් වැඩිම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළේය. කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර ඡන්දය ‍ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව 1,521,854 ක්. ගම්පහ දිස්ත්‍රික්ක‍යෙන් 1,474,484 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව ‍ 1,183,649 ක් වේ. අවතැන් වූ කඳවුරුවල සිටින පුද්ගලයින් 45,692 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ. වන්නි දිස්ත්‍රික්කයේ අවතැන් වූ කඳවුරුවල සිටින ඡන්දදායකයින් 15,817 දෙනෙක් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන් වූ කඳවුරුවල සිටින ඡන්දදායකයින් 26,582 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
ඡන්දය ප්‍රකාශ කිරීමේ දී ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමසාරිස්වරයා නම් කර ඇති අනන්‍යතාව‍ය තහවුරු කිරීමේ හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. මෙවර මැතිවරණයේ එක් විශේෂත්වයක් වන්නේ ඡන්දය සලකුණු කිරීම සඳහා මෙතෙක් භාවිත කළ පැන්සල වෙනුවට පෑන භාවිතා කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබීමය. මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 36 ක් හා ස්වාධීන කණ්ඩායම් 301 ක් ඉදිරිපත් වී සිටියි. මන්ත්‍රීධුර 196 ක් සඳහා තරග වදින අපේක්ෂකයින්ගේ සංඛ්‍යාව 7,620 කි. මීට අමතරව ජාතික ලැයිස්තුවෙන් තෝරාගැනෙන මන්ත්‍රී ධුර සංඛ්‍යාව 29ක් වේ. adaderana

0 comments:

Post a Comment