Saturday, May 1, 2010

කම්කරුවන්ගේ දිනය අදයි


ජාත්‍යන්තර මැයි දිනය අදට යෙදී තිබේ. මෙවර සැමරෙන්නේ 124 වැනි මැයි දිනයයි. 1886 මැයි පළමුවැනිදා පැය අටක වැඩ දිනයක් ඉල්ලා අමෙරිකාවේ වැඩකරන ජනතාව සිදුකළ ජයග්‍රාහී අරගලය ‍සැමරීම මෙදින සිදුවේ. අමෙරිකාවේ චිකාගෝහි සිදුකළ උද්ඝෝෂණයට පොලිසිය දියත් කළ මර්දනය හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
පසුව ලොවපුරා වැඩකරන ජනතාව පැය 8ක වැඩ දිනයක් ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කළ අතර 1904 දී එය නීත්‍යානුකූල ලෙස ප්‍රකාශයට පත්කෙරුණි. මෙවර මැයි දිනයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන‍යත් ජනතා විමුක්ති පෙරමුණත් සුපුරුදු පරිදි මැයි රැළි පවත්වයි. එක්සත් ජාතික පක්ෂය අද දිනයේ දී ආගමික වතාවත්වල නියැලෙන බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. ඒ කොළඹ මහනගර සභා පිටියේ දීය.
වැඩ බිමට බලය, කම්හලට ජවය, මව්බිමට සාමය යන්න මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැළියේ තේමාව වී තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැළිය හේතුවෙන් කොළඹ මහ නගර සභා පිටිය අසලින් දිවෙන එෆ්.ආර්. සේනානායක මාවත අද උදෑසන 6 සිට රැළිය අවසන් වන ‍තෙක් වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය. ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි රැළිය‍ බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වේ. "ප්‍රජාතන්ත්‍රවාදය, සැබෑ ජාතික සාමය සහ පොදුජන අයිතිය උදෙසා සටන් වදින රතු මැයි රැළිය" යන්න එහි තේමාවයි.
එක්සත් ජාතික පක්ෂය අද දිනය තුළ පෙළපාලියක් හෝ මැයි රැළි වෙනුවට රටපුරා සර්ව ආගමික වැඩසටහන් පැවැත්වීමට තීරණය කර තිබේ. එහි ප්‍රධාන ආගමික වැඩසටහන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙනේදී පැවැත්වීමට නියමිතය. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටියේ මැයි දිනය වෙනුවෙන් පෙළ පාලි 6 ක් සහ රැස්වීම් 11ක් පැවැත්වෙන බවය.adaderana

0 comments:

Post a Comment