Saturday, July 3, 2010

සිරගත වෙන්න රනිලුත් සූදානම්


ජනතාව වෙනුවෙන් තමා ඕනෑම අවස්ථාවක සිරගත වීමට පවා සූදානම් බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් තමා ‍එදා මෙන්ම අදත් පෙනී සිටින බව හෙතෙම කියා සිටියේය. 2010 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දී නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කරන ලදී.

බන්ධනාගාර ගතව සිටින කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට නියමිතව සිටියත් නියමිත වේලාවට පාර්ලිමේන්තුවට පැමිණීමට ඔහුට නොහැකිවිය.

පාලිත තෙවරප්පෙරුම මහතාට නියමිත වේලාවට පාර්ලිමේන්තුවට සහභාගීවීමට නිසි වේලාවට අවසර ලබාදුන්නේද නැද්ද යන්න සොයාබැලීමට කටයුතු කරන ලෙස කථානායකවරයාගෙන් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටිද්දී ආචාර්ය මර්වින් සිල්වා මහතා කියා සිටියේ"රනිල් වික්‍රමසිංහ මහතාද සිරගත කළ යුතු" බවයි.

ජනතාව වෙනුවෙන් තමන් සිරගත වන්නට සූදානම් බව විපක්ෂ නායකවරයා කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ එකී ප්‍රකාශයට පිළිතුරක් වශයෙනි. adaderana

0 comments:

Post a Comment