Saturday, July 3, 2010

ද්‍රවිඩ ජාතික සන්ධානය ලියාපදිංචිවෙයිද..?


ද්‍රවිඩ ජාතික සන්ධානය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කර ඇති බවට ප්‍රවෘත්තියක් ලන්ඩන් ගුවන් විදුලියක් මගින් විකාශය කර ඇතත් එහි සත්‍යතාවයක් නැති බවට අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

"ද්‍රවිඩ ජාතික සන්ධානය"යනු ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොව ලියාපදිංචි ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක සන්ධානයකි. එබැවින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් බොහෝවිට මැතිවරණ වලට තරඟ කරනු ලැබුවේ"ඉලංකෙයි තමිල් අරසුකච්චි"වෙනුවෙන්"නිවස"දේශපාලන සංකේතය යටතේය.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් එහි මහ ලේකම්වරයා ලෙස පත් කිරීමට සන්ධානය පිහිටුවන අවස්ථාවේදීම යම් යෝජනාවක් තිබුණද ඒ වන විට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් ඉවත්ව සිටි ඔහු ඇතුළු පිරිසට ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ වැඩි බලයක් අත්පත් වනු ඇති බවට සෙසු ද්‍රවිඩ පක්ෂ නායකයින් කල්පනා කළ බැවින් ආර්.සම්බන්ධන් ට මහ ලේකම් ධුරය පිරිනැමීම සිදුනොකෙරිණි.

ඒ අනුව පසු කලෙක ද්‍රවිඩ ජාතික සන්ධානය තුළ මහ ලේකම්වරුන් තිදෙනෙකු නම් කර තිබිණි.

ඒ අනුව මාවෙයි සේනාධිරාජා,සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්,සෙල්වන් අඩෙයිකලනාදන් යන අයගේ නම් මහ ලේකම්වරුන් ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඇතුළත්ව තිබිණි. එබැවින් දේශපාලන පක්ෂයක් ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානය ලියා පදිංචිය සඳහා යොමු කර ඇත්තේ ඉහත මහ ලේකම්වරුන් තිදෙනාගේ නම් වලින් සමන්විතව බව සඳහන් වේ.

එහෙත් මැතිවරණ නීතියට අනුව එක් දේශපාලන පක්ෂයක සිටිය යුත්තේ එක් මහ ලේකම්වරයෙකු පමණක් වන අතරම වෙනත් දේශපාලන පක්ෂයක මහ ලේකම් ධූරය දරන තැනැත්තෙකුට තවත් දේශපාලන පක්ෂයක මහ ලේකම් ධූරය දැරිය නොහැකිය.

ඒ අනුව මේ වන විට ඉලංගෙයි තමිල් අරසුකච්චි මහ ලේකම් ලෙස මාවෙයි සේනාධිරාජා ද,ඊ.පී.ආර්.එල්‍.එෆ් මහ ලේකම් ලෙස සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාද කටයුතු කරන බැවින් මේ දෙදෙනාගෙන් කිසිවෙකුට හෝ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මහ ලේකම් ධූරය දැරිය හැකි නොවේ.

මෙම ගැටලු අනුව ද්‍රවිඩ ජාතික සන්ධානය ලියාපදිංචි දේශපාලන පක්ෂයක් ලෙස කටයුතු කිරීමට ඉල්ලුම්පතක් යොමු කර ඇතත් ඒ සඳහා නෛතික අවකාශයක් ඇත්ද යන්න සැක සහිතය. adadeerana

0 comments:

Post a Comment