Monday, January 24, 2011

ජනතාවට මොකුත් නෑ- මැති ඇමතිවරුන්ට ප්‍රාඩෝ January 24, 2011 12:52 pm

ජනතාවට පොරොන්දු වූ කිසිදු සහනයක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වූවද ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී ප්‍රාඩෝ රථ ලබා ගැනීමට කටයුතු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

යුද්ධය සමයේ අඩු කරගත් මැති ඇමති වැටුප් සහ ඇතැම් වරප්‍රසාද සියල්ල කිසිදු අඩුවකින් තොරව ලබා ගැනීමට විශේෂ තීන්දුවක් අරගෙන ඇති බව එ.ජා.ප මාධ්‍ය ප්‍රකාශක,පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කරයි.

යුද්ධය නිමාවී ඒ වෙනුවෙන් දරන්නට සිදුව තිබූ අසීමිත යුද වියදම් මේ වන විට දරන්නට සිදුනොවුණු තත්ත්වයක් තුළ පවා යුද්ධය ජය ගැනීමට කැපකිරීම් කළ රණ විරුවන් සේම ජනතාවටද මේ වන තුරුත් කිසිදු සහනයක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව හෙතෙම අවධාරණය කළේය.

අද(24)කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එ.ජා.ප මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පළ කළේය.

ආණ්ඩුවේ නොහැකියාව වසා ගන්නට සෑම දේටම"ත්‍රස්තවාදී"ලේබලය අලවමින් සිටින බවත්,ඒ අනුව කොටි ත්‍රස්තවාදය,එළවළු ත්‍රස්තවාදය,ස්වභාවික ත්‍රස්තවාදය,පාන් පිටි ත්‍රස්තවාදය ආදී ත්‍රස්තවාදයන් ගැන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් එක එක විහිළු කතා කියමින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ආණ්ඩුවේ මෙම නොහැකියාවන්,ජනතාවට කිසිදු සහනයක් ලබා නොදෙමින් කරනු ලබන රැව‍ටීම ආදිය පිළිබඳ ජනතාව අවබෝධයක් ලබා සිටින අවදියක පළාත් පාලන මැතිවරණයකට මුහුණ දෙන්නට ආණ්ඩුවට සිදුවී ඇති බව කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

0 comments:

Post a Comment