Saturday, December 4, 2010

මෙරට නිවාස ගැන තොරතුරු ලබාගැනීමට නිවාස ලේකම් කාර්යාලයක්


ශ්‍රී ලංකාව තුළ පිහිටි නිවාස සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා ලබන 5 වැනිදා නිවාස ලේකම් කාර්යාලයක් පිහිටුවන බව ඉදිකිරීම්, ඉංජිනේරු, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අද(04) පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා නැගූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී අමාත්‍යවරයා පසුගිය කාලය තුළ ඉදිකරන ලද නිවාස පිළිබඳ සංඛ්‍යාලේඛන ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එම සංඛ්‍යාලේඛන පිළිබඳ ගැටලුවක් පවතින බව එහිදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

1978 සිට 1994 දක්වා කාලය තුළ එක්සත් ජාතික පක්ෂ රජය මගින් ඉදිකරන ලද නිවාස දස ලක්ෂය මෙම සංඛ්‍යාලේඛනවලට ඇතුළත්ව නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේය. මෙම සංඛ්‍යාලේඛනවල ඇතුළත් වන්නේ ප්‍රතිසංස්කරණය කරන ලද නිවාස පමණක් බව මෙහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම සංඛ්‍යාලේඛන නිවාස සංවර්ධන අධිකාරිය මගින් ලබාදුන් සංඛ්‍යාලේඛනයක් බව විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සත්‍ය ඒවා බව මෙහිදී අදහස් දැක්වූ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කියා සිටියේය.
adaerana.lk

0 comments:

Post a Comment