Tuesday, December 21, 2010

ව්‍යවස්ථාව අලුත් වුණත් නායකත්වයේ බලය වෙනස් නෑ


නව පක්ෂ ව්‍යවස්ථාව තුළින් වුවද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය අඩුවීමක් සිදුව නැති බව එ.ජා.ප.ප්‍රතිසංවිධාන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි.

එබැවින් ඒ සම්බන්ධයෙන් ජන මාධ්‍ය විසින් ගැටලුවක් ඇතිකරගත යුතු නැති බව හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නව පක්ෂ ව්‍යවස්ථාවට අනුව ඡන්දයෙන් තොරාපත් කරගත යුතු ඉහළ තනතුරු හැකි ඉක්මනින් පත් කර ගැනීමට කටයුතු කරන බවද මයිකල් පෙරේරා මහතා පෙන්වාදුන්නේ මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් තමන්ට උපදෙස් ලබා ගැනීම සඳහා පත් කළ විද්වත් කමිටුව මුලදී ශ්‍රී ලංකාවට පැමිණ උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් ගෙන් ප්‍රකාශ ලබාගැනීමට අදහස් කළද මේ වන විට එවැන්නක් සිදුනොවන බව‍ට මාධ්‍ය මගින් කරුණු අනාවරණය වී ඇති බව මෙම මාධ්‍ය හමුවට එක්වූ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

මුලදී මෙම අන්තර් ජාතික විද්වත් කමිටුවට සිය විමර්ශන කටයතු සිදු කිරීමට පූර්ණ සහයෝගය ලබාදෙන බව රජයෙන් කියා සිටියද,ඒ වෙනුවට වීසා ලබාදීමට පවා අදිමදි කිරීම නිසා උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් විදේශ රටකට ගෙන්වා ප්‍රකාශ ලබාගැනීමට ඔවුන් අදහස් කරන බවට තොරතුරු දැක්වෙන බවද හෙතෙම කියා සිටියේය.

කෙසේ වුවද බී.බී.සී ලෝක සේවය උපුටා දක්වන ආකාරයට එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටුව හා ශ්‍රී ලංකාවේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිසමේ සාමාජිකයින්ගේ හමුවීම සිදුවන්නේ කිනම් රටක කිනම් ස්ථානයකද යන්න මේවන තෙක් තහවුරු වී නොමැති බවයි. adaerana.lk

0 comments:

Post a Comment