Sunday, February 6, 2011

ජල ගැල්මෙන් පීඩාවට පත්වූවන් ලක්ෂ දොලහ ඉක්මවයි. - ප‍්‍රදේශ රැසක පාසල් වසා දැමේ.

දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් දොලොස් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ පුද්ගලයන් දෙලක්ෂ 50,000 කට අධික සංඛ්‍යාවක් අවතැන්ව සිටින බවයි. ඔවුන් තාවකාලික සහන මධ්‍යස්ථාන 689 ක රැදී සිටින බව ඔහු කියා සිටියා. අයහපත් කාලගුණය හේතුවෙන් වාර්තා වූ පුද්ගල මරණ සංඛ්‍යාව 11 ක්. විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යංශය විසින් පියවර ගෙන ඇති බවයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කළේ. සහන සැලසීමේ වැඩපිළිවෙල ප‍්‍රාදේශීය ලේකම්වරුන් හරහා සිදුවන බව ඔහු කියා සිටියා.

මේ අතර, මල්වතු ඔය පිටාර ගැලීම නිසා මන්නාරම දිස්ති‍්‍රක්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් සාකච්ජාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ ප‍්‍රධානත්වයෙන් අද (06) මන්නාරමේ දී පැවැත්වුණා. සාකච්ජාවෙන් අනතුරුව හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු අමාත්‍යවරයා.

ගං වතුරෙන් හානියට පත්වු ප‍්‍රදේශවල සෞඛ්‍ය සේවාවන් නැංවීම සඳහා තවත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් කොළඹ සිට අදාල ප‍්‍රදේශවලට අද (06) දිනයේ පිටත්කර හැරි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. වෛද්‍යරවරුන් 12 ක්, සෞඛ්‍ය පරීක්ෂකවරුන් 22 ක්, හෙදියන් සහ ඖෂධවේදීන් ඇතුළු කණ්ඩායමක් ඒ අතර වන බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අතර, උතුරු මැද පළාතේ සෞඛ්‍ය කටයුතු සඳහා අමතර ගිලන් රථ 6 ක්ද, පිටත් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ජලගැලීම් සහ නායයෑමේ අවදානමට ලක්ව ඇති දිස්ති‍්‍රක්කයන්හි ඇතැම් ප‍්‍රදේශවල විදුලිය විසන්ධි කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති විද්‍යා අමරපාල සදහන් කර සිටියේ ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස විදුලිය විසන්ධි කිරීමට තීරණය කළ බවයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කරන ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විද්‍යා අමරපාල.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ සියලූම පාසල් හෙට දිනයේ සිට දින 03 ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන දිස්ති‍්‍රක් ලේකම් රෝහන කීර්ති දිසානායක.

උතුරු මැද පළාතේ සියලූම පාසල්ද, හෙට සහ අනිද්දා යන දෙදින තුළදී වසා දැමීමටයි පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා අද තීරණය කළේ. එමෙන්ම, නැගෙනහිර පළාතේ දෙහිඅත්තකණ්ඩිය, අම්පාර සහ මහඔය අධ්‍යාපන කලාපවල හැර සෙසු සියලූම පාසල් ලබන බදාදා දින දක්වා වසා තැබෙනු ඇති. මහනුවර ගෝතමී විද්‍යාලය, වලපනේ කීර්තිබණ්ඩාරපුර පාසල සහ මාතලේ ඉඹුල්පිටිය මහා විද්‍යාලය හෙට දිනයේදී වසා තැබෙන බව මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ප‍්‍රකාශ කළා. ඊට අමතරව ගලේවෙල අධ්‍යාපන කලාපයේ, දඹුල්ල ජාතික පාසල, වීරමොහාන් ජයමහා විද්‍යාලය සහ වෑවල වැව මධ්‍ය මහා විද්‍යාලයද, හෙට දිනයේ වසා තැබෙනු ඇති.

ජලගැලීම් හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු කැකිරාව දක්වා සීමා කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියා.

බලාපොරොත්තු වූ පරිදි අද දිනයේ වර්ෂාවේ අඩුවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දමයන්ති ඉඳිකැටිහේවගේ හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද පෙරවරු 8.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ වවුනියාව ප‍්‍රදේශයට බවයි. එය මිලිමීටර 7.3 ක් තරම් අඩු අගයක්. ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දමයන්ති ඉඳිකැටිහේවගේ

0 comments:

Post a Comment