Wednesday, June 16, 2010

ජාත්‍යන්තර ප්‍රබලයන් අද ශ්‍රී ලංකාවේ


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ මහලේකම් ලියන් පැස්කෝ මහතා අද අලුයම දිවයිනට පැමිණියේය. තෙදින නිල සංචාරයක් සඳහා ලියන් පැස්කෝ මහතා දිවයිනට පැමිණ ඇති බව සඳහන් වේ.

මෙම සංචාරය අතරතුරදී ලියන් පැස්කෝ මහතා ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් හමුවීමට ද නියමිතව ඇතැයි වාර්තා වේ. මෙරට අවතැන් ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳව ද ඔහුගේ අවධානය යොමු වනු ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන්කී මූන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර පසුගිය මැයි මාසයේ ඇතිකරගත් එකඟතා පිළිබඳ වැඩි අවධානයක් යොමු වනු ඇති බව පැවසෙයි.

මේ අතර ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂී මහතා ද දිවයිනට පැමිණ තිබේ. ඊයේ රාත්‍රී 11.55ට පමණ ඔහු දිවයිනට පැමිණි බව සඳහන් වේ.

යසුෂි අකාෂි මහතා ලංකාවට පැමිණියේ 20 වැනි වරට වන අතර ඔහු ලබන 20 වැනිදා දක්වා මෙරට රැඳී සිටිනු ඇතැයි ද එම කාලය අතරතුර රජයේ සහ විපක්ෂයේ නියෝජිතයින් හමුවීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ. උතුරේ අවතැන් වූවන් යළි පදිංචි කරවීමේ ක්‍රියාවලියද ඔහුගේ අධීක්ෂණයට ලක්වනු ඇති බව ජපාන තානාපති කාර්යාලය පවසයි. මේ අතර අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතාගේ නියෝජිතයින් දෙපළක් ද මේ වන විට ලංකාවේ සංචාරක නිරතව සිටියි.

ඔවුහු පසුගිය සඳුදා දිවයිනට පැමිණියහ. අමෙරිකානු ජනාධිපතිවරයාගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ සහකාර සමන්තා පවර් සහ යුද අපරාධ හා ජාතික ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ඩේවිඩ් ප්‍රෙස්මන් එම නියෝජිතයින් දෙදෙනා වෙති. මෙම අමෙරිකානු ජනාධිපතිවරයාගේ නියෝජිතයින් ලබන 18 වැනිදා දක්වා මෙරට රැඳි සිටිනු ඇතැයි වාර්තා වේ..
adaderana

0 comments:

Post a Comment