Wednesday, June 16, 2010

සත්‍යග්‍රහය විසුරුවාහැරීම හෙළාදකිනවා


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ‍කොමිසන් සභාව ඉදිරිපිටදී අද දහවල් සංවිධානය කළ උද්ඝෝෂණය හා සත්‍යග්‍රහය පොලිසිය විසින් විසුරුවා හැරීම තරයේ හෙළාදකින බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

එම ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු උඳුල් ප්‍රේමරත්න මහතා සඳහන් කරන පරිදි පේරාදෙණිය විශ්ව විද්‍යාලේ සම සෞඛ්‍ය විද්‍යා උපාධි පාඨමාලාව වසරකින් අඩුකිරීමට විරෝධය පළකරමින් මෙම උද්ඝෝෂණය සහ සත්‍යග්‍රහය සංවිධානය කර තිබේ.

එහෙත් බස්රථ යොදාගනිමින් සිසුන් බලහත්කාරයෙන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කළ බවත්,ශිෂ්‍ය අයිතීන් මර්දනය කිරීමට වත්මන් රජය කටයුතු කිරීම තරයේ හෙළාදකින බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු පවසයි.

සිය අමාත්‍යාංශයේ දොරටු ශිෂ්‍යයින් වෙනුවෙන් ඕනෑම අවස්ථාවක විවෘත බවට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද එවැනි වාතාවරණයක් මේ වන විට දක්නට නොමැති බව ද ඔහු පෙන්වා දෙයි.

කෙසේවෙතත් උද්ඝෝෂණය සහ සත්‍යග්‍රහය විසුරුවාහැරීම සම්බන්ධයෙන් අද දෙරණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසන ආකාරයෙන් සිසුන් බලහත්කාරයෙන් විසුරුවාහැරීමක් කිසිවිටෙකත් පොලිසිය සිදුනොකළ බවයි.

සිසුන් ඔවුන්ගේ විරෝධතාව දක්වා ස්වේච්ඡාවෙන්ම එම ස්ථානයෙන් විසිරී ගිය බව ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටියේය.
adaderana

0 comments:

Post a Comment