Wednesday, June 16, 2010

ව්‍යවස්ථා සභාව අහෝසි කරයි


17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අතුළත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත් කිරීමේ විධි විධාන ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කිරීමට රජය සැරසෙන බව වාර්තාවේ.
17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවනු ලබන ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීමේ බලය හිමිවී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටය. නමුත් මෙලෙස එම කොමිෂන් සභාව අහෝසි කිරීමත් සමග එම බලතල සභාපතිවරයා වෙත පැවරෙනු ඇත.

17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ සාමාජිකයින් 10 දෙනෙකුගෙන් යුතු ව්‍යවස්ථා සභාවක් ස්ථාපිත කළ අතර ඊට ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්ද අගමැතිවරයා, කතානායක, විපක්ෂ නායක යන තිදෙනාද අගමැතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ
එකඟතාව මත නම් කෙරෙන සාමජිකයෝ 5 දෙනෙක් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂවලින් නම් කෙරෙන නියෝජිතයෙක්ද ඇතුළත්වූහ.

ඒ අනුව මැතිවරණ කොමිෂම, රාජ්‍ය සේවා කොමිෂම, ජාතික පොලිස් කොමිෂම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම, අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂම, මුදල් කොමිෂම සහ සීමා නීර්ණය කිරීමේ කොමිෂම යන ස්වාධීන කොමිෂන් සභා හතට සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගතයුතු විය. නමුත් නව සංශෝධනය යටතේ මෙම කොමිෂන් සභාවලට සජමාජිකයන් පත්කිරීම ජනාධිපතිවරයා යටතට පත්කිරීමට නියමිතය.

එමෙන්ම, ස්වාධින කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැති, කතානායක, සහ විපක්ෂ නායකගේ අදහස් විමසීම පිළිබදවද නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කෙරෙන අතර එසේ අදහස් විමසීම අනිවාර්ය අංගයක් නොවනු ඇතැයිද පැවසේ.

මේ අතර යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට ඔනෑම වාර ගණනක් ජනාධිපතිධූරයට පත්විය හැකි ලෙසට වගන්තියක් ඇතුළත් කිරීමට නියමිත බවද පැවසේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා පසුගිය සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණි. ඒ අනුව අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් ව්‍යවස්ථා සංශෝධනය පිළිබද නිර්දේශ ඇතුළත් මූලික කෙටුම්පතක් දැනටමත් සකස්කර ඇති බවද පැවසේ. lankatruth

0 comments:

Post a Comment