Wednesday, June 16, 2010

බුද්ධදාස - වීරවංශ ගැටුම උග්‍රවේ, පුද්ගලයෙක් අතුරුදහන්!


කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල ආසනය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඩුවෙල සංවිධායක බුද්ධදාස හා විමල්වීරවංශ අතර පවතින ගැටුමේ එක් අදියරක් ලෙස බුද්ධදාස මහතාගේ ප්‍රබල ආධාරකරුවකු පැහැරගැනීමට ලක්වී ඇත. බුද්ධදාස මහතාගේ සමීප ආධාරකරුවකු සහ ඔහුට හිතවත් ප්‍රධාන පෙලේ කොන්ත්‍රාත්කරුවකුවන කොරතොට, අල්විස්වත්තේ පදිංචි පියල් නැමැත්තා ඊයේ දහවල් 11.30ට පමණ පැහැර ගැනීමට ලක්වී ඇත. ඔහු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අතුරුගිරිය වෙලේහංදියේදී සුදුපැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් ඔහුට පහරදී වාහනයට බලහත්කාරයෙන් පටවාගෙන ගිය බව වාර්තාවේ. ‍මේවන තුරුත් පියල් පිළිබඳ කිසිදු තොරතුරක් දැනගන්නට ලැබී නැත.

කඩුවෙල ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම සිදුවීම පසුපස විමල් වීරවංශ සහ බුද්ධදාස අතර පැවැති ගැටුම ඇති බවයි. පසුගියදා බත්තරමුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ රැස්වීමේදී මේ දෙදෙනාගේ කණ්ඩායම් අතර දරුණු ගැටුමක් ඇතිවිය. පසුව වීරවංශ හෙක්ටර් බෙත්මගේ හා රාජා බාලසූරිය ඇතුළු පිරිසක් සමග බත්තරමුල්ල සමූපකාර පරිශ්‍රය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය. එම උද්ඝෝෂණයේදී වීරවංශ මෙසේ පැවසීය. "මම කඩුවෙල ආසනයේ මැරයන්ට කියනවා පරිස්සමින් ඉන්න කියලා. කඩුවෙල ඉස්සර පෙන්නපු සෙල්ලං ආයෙ පෙන්නන්න බැහැ. දාසලා දැනගන්න ඕන ආයෙ කඩුවෙල මැරකම් බැහැ කියලා."

ඊට පසුදින බත්තරමුල්ල රෝයල් ප්ලාසා හිදී බස්නාහිර පළාත් සභාවේ සමූපකාර ඇමති උපාලි කොඩිකාර මහතාගේ මූලිකත්වයෙන් සමූපකාර සේවක රැස්වීමක් පැවැත්විණි. එහිදී බුද්ධදාස මහතා මෙසේ කීවේය. "අපි ඉස්සර ඉදලා කඩුවෙල ශ්‍රී.ල.නි.ප. දේශපාලනය කළා. පක්ෂෙත් පාවා දුන්න වංශලා දැන් සෙල්ලම් පෙන්නන්න එනවා. මේ පාර වංශ පාඩමක් ඉගෙනගන්නේ මේ දාස ගෙන්"

මේ ආකාරයට දෙදෙනා අතර ගැටුම ඉදිරියට ගිය අතර ඊයේ සිදුවූ අතුරුදහන්වීම මෙම ගැටුමේ ප්‍රතිඵලයක්දැයි සැකයක් පවතී. පියල් නැමැත්තාගේ අතුරුදහන්වීමට අදාලව පොලීසිය කිසිදු පියවරක් ගෙන නැති අතර පොලීසියේ අක්‍රීයභාවයට හේතුව ඉහළින් පැමිණි දේශපාලන බලපෑම් විය හැකියැයි ප්‍රදේශවාසීහු පවසති. lankatruth

0 comments:

Post a Comment