Sunday, August 8, 2010

සක්විති ලොක්කා ලංකාවට ආවේ මාස 6 ට කලින්


මහා පරිමාණ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සක්විති රණසිංහ නැමැත්තා සිය බිරිඳ සමග යළි ලංකාවට පැමිණ ඇත්තේ මීට මාස 06 ට පමණ පෙරාතුව බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.-

ඔහු මීට පෙර ද ඉන්දියාවේ සිට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන ශ්‍රී ලංකාවට පැමිණ යළි ඉන්දියාවට ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

එහෙත් දැනට මාස 06 ට පෙරාතුව ඔහු ලංකාවට පැමිණ ඇත්තේ "රංජන්"නැමැති දෙමළ නාමයකින් යුතු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් බවද වාර්තා වේ..

ප්‍රථමයෙන් වත්තල පිහිටි සක්විති රණසිංහ ට අයත් කුලී නිවසක මොවුන් පදිංචිව සිට ඇති මුත් අද අත්අඩංගුවට පත්ව ඇත්තේ නවගමුව ප්‍රදේශයේ ඔහුගේ බිරිඳට අයිති නිවසේ පදිංචිව සිටියදීය.

පොලිස් අධිකාරි දේශබන්ධු තෙන්නකෝන් මහතා පැවසූ පරිදි අද දහවල් නවගමුව කොරතොට මාර්ගයේ අඹගහ හංදිය ප්‍රදේ‍ශයේ නිවසක සැඟව සිටියදී සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට පත්ව ඇත.

නුගේගොඩ ‍පොලිස් අධිකාරිවරයාට සිවිල් ආරක්ෂක නිලධාරී පිරිසකගෙන් ලැබුණු තොරතුරකට අනුව දෙහිවල මෙහෙයුම් මැදිරියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

ජංගම සංචාරයේ යෙදුණු සිවිල් ආරක්ෂක නිලධාරියෙකු ප්‍රථමයෙන්ම සක්විතිගේ බිරිඳ හඳුනාගෙන ඇති අතර පසුව ඇය සමග සිටි පුද්ගලයා තමා සක්විති රණසිංහ බවට පිළිගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සක්විති රණසිංහ නැමැත්තා හඳුනාගත නොහැකි ලෙස රැවුල වවා සිටි බව ද පොලිසිය පවසයි.

2008 වසරේ සැප්තැම්බර් මාසයේ දී රුපියල් කෝටි 500 අධික මූල්‍ය වංචාවක් සිදුකරන ලද බවට මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර ලාංකීය ඉතිහාසයේ එක් පුද්ගලයෙකුට එරෙහිව එල්ල වු විශාලතම මූල්‍ය වංචා චෝදනාව ද මෙය‍ ලෙස සැලකේ.

නුගේගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මූල්‍ය සමාගමක් හරහා මුදල් නීති විරෝධී ලෙස මොහු මුදල් ලබාගෙන ඇති බවට වාර්තා පළ වූ අතර ඔහුට එරෙහිව එල්ල වී ඇති පැමිණිලි සංඛ්‍යාව 4,000කට අධික බවද සඳහන් වේ.

ඉංග්‍රිසි ගුරුවරයෙකු ලෙස ප්‍රකටව සිටි සක්විති රණසිංහ ව්‍යාජ නමකින් පෙනී සිටියෙකු බව ද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබිණි.

එවක මොහුගේ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු මිරිහාන පොලිසියේ අපරාධ අංශය විසින් මොහු විදේශකට පලාගොස් ඇති වග අනාවරණය කරගෙන තිබිණි. adaderana.lk

0 comments:

Post a Comment