Sunday, August 8, 2010

වරාය බැලීමට එන විශාල ජනකාය නිසා ඉදිකිරීම් වලට බාධා


හම්බන්තොට වරායේ ඉදිකිරීම් නැරඹීම සඳහා පැමිණෙන අතිවිශාල ජනතාව හේතුවෙන් මේ වන විට ඉදිකිරීම් කටයුතුවලට බාධා මතුවෙමින් තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. වරාය ඉදිකිරීම් නැරඹීමට පැමිණෙන ජනතාව හැකි ඉක්මනින් වරාය භූමියෙන් පිටත්ව යන්නේ නම් එය ඉදිරි කටයුතුවලට පහසුවක් වන බව එහි සභාපති ප්‍රියත් වික්‍රම මහතා සඳහන් කළේය. වරාය නැරඹීමට පැමිණෙන ජනතාව සහ ඔවුන්ගේ රථවාහන හේතුවෙන් හම්බන‍්තොට වර‍ාය අවට දැඩි තදබදයක් පවතින බව ද වාර්තා වේ.

ලබන 15 වනදා වන විට වරාය තටාකාංගනයට ජලය පිරවීමේ කටයුතු සිදුකිරීමට නියමිත බව වරාය සභාපතිවරයා පෙන්වාදෙයි. එබැවින් සංවර්ධන කටයුතුවලට සහය දැක්වීමක් ලෙස ඉදිකිරීම් කටයුතු නැරඹීමෙන් අනතුරුව කඩිනමින් වරාය පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. adaderana.lk

0 comments:

Post a Comment