Tuesday, April 27, 2010

මහින්දානන්දට කැපිල්ල - කෙහෙලිය, අමුණුගම,එස්.බී.ට ඇමැතිකම්


නව රජයේ කැබිනට්‌ ඇමැතිවරුන් ලෙස මහාචාර්ය තිස්‌ස විතාරණ සහ ආරුමුගම් තොණ්‌ඩමන් යන මන්ත්‍රීවරුන් ද, මෙයට අමතරව එක්සත් ජාතික පක්ෂයේ සිට පැමිණි ආචාර්ය සරත් අමුණූගම, එස්.බී.දිසානායක, කෙහෙළිය රඹුක්වැල්ල යන මන්ත්‍රීවරුන්ද අමාත්‍යවරුන් ලෙස ලබන සතියේ දිවුරුම්දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි. එම දිවුරුම්දීම ජනාධිපතිවරයාගේ භූතාන සංචාරයෙන් පසු සිදු වන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය. මෙයට අමතරව ෆයිසර් මුස්‌තාපා මහතා නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස දිවුරුම් දීමටද නියමිතය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පැරණි සාමාජිකයෙකු වන මහනුවර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගත් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඇමැති ධූරයක් නොදී නියෝජ්‍ය ඇමැති ධූරයක් ලබාදී අලුත්ගමගේ මහතා ඇමැති මණ්ඩ‍ලයේ පහළින් තැබීමට රාජපක්ෂ සමාගම සැලසුම් කර ඇති බවත් වාර්තා වේ. මේ වෙනුවෙන් වූ වැඩපිළිවෙළ මේ වන විට ජනාධිපති ලේකම්වරයා ලවා සිදු කරන බවත්, එහි ප්‍රකාශ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා මගින් සිදු ක‍රන බවත් පැවසේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසුවේ ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් නාවලපිටිය සිදුවීම බාධාවක් වූ බවයි. මේ අනුව මෙහි වගකීම මේ වන විට මහින්දාන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පිට පටවා ඇති අතර, මෙයින් අලුත්ගමගේ මන්ත්‍රීවරයා නිහඬ කිරීම රාජපක්ෂ සමාගමේ කුමන්ත්‍රණයක් බවත් පැවසේ.
කෙසේ වෙතත් නාවලපිටිය සිදුවීම සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් හා ෆයිසර් මුස්තාපා මන්ත්‍රීවරයාගෙන් ඊ‍යේ ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව පරීක්ෂණ සිදු කර ඇති අතර, මෙසේ පරීක්ෂණ්‍යට ලක්ව ඇති ෆයිසර් මුස්තාපා මහතාට නියෝජ්‍ය ඇමැති ධූරයක් ලබාදීමට තීරණය කර තිබියදී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විනය පරීක්ෂණයෙන් පසුව ඇමැති ධූරයක් ලබාදීම සම්බන්ධයෙන් තීරණ ගන්නා බවත් විනය පරීක්ෂණය අවසන් වන තුරු තනතුරක් ලබා නොදීමට තීරණය කළ බවත් ජනාධිපති ලේකම් කාර්යාලය පවසා ඇත. lankatruth

0 comments:

Post a Comment