Tuesday, April 27, 2010

ශ්‍රී ලංකා ජනපති භූතාන අගමැති‍ගේ පැසසුමට


අධිෂ්ඨානය සහ තීක්ෂණ දැක්ම තුළින් ශ්‍රී ලංකාවට සාමය උදා කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගත් ක්‍රියාමාර්ග භූතාන අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් වී තිබේ. 16 වන සාර්ක් සමුළුවට සහභාගී වීම සඳහා භූතානයට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ භූතාන අග්‍රාමාත්‍ය ජිග්මි තින්ලේ හමුවිය. භූතානයේ තිම්පු නුවර පිහිටි සාර්ක් ගම්මානයේ පිහිටි"ශ්‍රී ලංකා හවුස්"හි දී මෙම හමුව සිදුවිය. එහි දී නායකයින් දෙදෙනා අතර දෙරටටම වැදගත් වූ කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ශ්‍රී ලාංකේය ජනතාව පීඩාවට පත් කළ ත්‍රස්තවාදය පරාජය කරමින් තිරසාර සාමයක් උදාකරමින් රටේ ජනතාවට ලබා දුන් නිදහසේ සුවය විඳීමට භූතාන ජනතාවද ශ්‍රී ලාංකේය ජනතාව සමඟ එක්වන බව භූතාන අග්‍රාමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය. බෞද්ධ රටවල් වශයෙන් ශ්‍රී ලංකාව සහ භූතානය අතර පවතින ආගමික හා සංස්කෘතික බැඳීම ඉදිරියේ දී වඩාත් තහවුරු කර ගැනීමේ අවශ්‍යතාවය ද මෙහි දී දෙපාර්ශවය අතර සාකච්ඡාවට ලක් වී ඇත. වෛද්‍ය ක්ෂේත්‍ර ඇතුළු ක්ෂේත්‍රයන් තුළ භූතානයේ මානව සම්පත් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳව මෙහි දී භූතාන අග්‍රාමාත්‍ය ජිග්මි තින්ලේ මහතා ජනාධිපතිවරයාට විශේෂ ස්තූතියක් පිරිනමනු ලැබීය. භූතානයට පැමිණි තමන් ඇතුළු නියෝජිත පිරිස වෙනුවෙන් ලැබුණු ඉහළම පිළිගැනීම සහ ආගන්තුක සත්කාර වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී භූතාන අග්‍රාමාත්‍යවරයා වෙත ස්තූතිය පළ කර සිටියේය. adaderana

0 comments:

Post a Comment