Wednesday, April 21, 2010

හත්වෙනි පාර්ලිමේන්තුව හෙට රැස්වෙන්නේ මෙහෙමයි


හත්වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය හෙට ආරම්භ කෙරේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මීළඟ කථානායකවරයා පත්කර ගැනීම පමණක් හෙට සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුලේගොඩ මහතා සඳහන් කළේය.
නව පාර්ලිමේන්තුව හෙට උදෑසන 8.45 ට ආරම්භ වීමට නියමිතව ඇති අතර පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 1 (අ) යටතේ කථානායකවරයෙකු තෝරාපත් කර ගැනීම එහි පළමු කාර්යය වේ. ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් එක් අයෙකු පමණක් යෝජනා වුවහොත් ඔහුට නිතරගයෙන් කථානායක ධුරය හිමිවේ.
එක් ‍අයෙකුට වඩා එම ධුරයට නම් යෝජනා වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර රහස් ඡන්දයක් පැවැත්වෙනු ඇත. කෙසේවෙතත් අවසන් පාර්ලිමේන්තු තුනේදීම කථානායක ධුරය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුට පිරිනැමුණු බැවින් මෙවර එම ධුරය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට පිරිනැමීමට එක්සත් ජාතික පක්ෂ නායකයා ද එකඟතාව පළ කර ඇති බව පසුගියදා වාර්තා විය.
කථානායකවරයා දිවුරුම් දීමෙන් පසු සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය මන්ත්‍රී ධුරවල නිල වශයෙන් දිවුරුම් දීම සිදුකෙරේ. නියෝජ්‍ය කථානායක ධුරය හා නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරවලට තෝරාපත් කර ගැනීම සිදුකෙරෙන්නේ එයින් අනතුරුවයි.
ඒ අතර මැතිසබයට තේරීපත්ව දැනට යුද හමුදා අත්අඩංගුවේ සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ද හෙට මංගල සැසිවාරයට සහභාගී වීමට අවශ්‍ය ඉඩකඩ සලසන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියකින් දැනුම් දී තිබේ.
හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසන පරිදි ඒ පිළිබඳ මේ වන විට පාර්ලිමේන්තු මහලේකම්වරයාට ආරක්ෂක ලේකම්වරයා විසින් ප්‍රතිචාර දක්වා ඇත.

මෙවර පාර්ලිමේන්තුවේ ආසන 144 ක් ආණ්ඩු පක්ෂයට හිමිවීම නිසා මෙතෙක් ආණ්ඩුපක්ෂයට වෙන්ව තිබූ ඉඩ කඩ සීමා වී ඇතැයිද ඒ හේතුවෙන් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට විපක්ෂයේ අසුන් ගැනීමට සිදුවනු ඇත.
ඒ අනුව නවක මන්ත්‍රීවරුන් ලෙස තේරීපත් වූ 28 දෙනෙකුට විපක්ෂයේ පසු පෙළ අසුන් පැනවීමට නියමිතව ඇතැයි සඳහන් වේ. කෙසේ වෙතත් මේ වන විට ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට 116 බැගින් අසුන් පනවා ඇතැයිද,මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම පසුදිනෙක සිදු කිරීමට සැලසුම් කර තිබේ.
හෙට මැතිසබයේ කටයුතු නිමාවීමෙන් පසුව පාර්ලිමේන්තුව යළි රැස්වන්නේ මැයි 4 වැනිදාය. adaderana

0 comments:

Post a Comment