Saturday, February 13, 2010

‍ත්‍රෛනිකායික හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්


අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටින විශ්‍රාමික යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සහ ඔහුට සහය දැක් වූයේ යැයි සැලකෙන හමුදා නිලධාරීන් ඇතුළු පිරිස නිදහස් කරන ලෙස ‍ත්‍රෛනිකායික මහා නායක හිමිවරු ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
රෛයිනිකායක මහානායක හිමිවරු‍න්ගේ අත්සනින් යුතුව නිකුත් කළ එම ලිපියෙන් දැනුම් දී තිබෙන්නේ වර්ත‍මානයේ පැන නැඟී ඇති ගැටලු සහගත තත්වය සමනය කිරීම සඳහා භික්ෂූන් වහන්සේ විසින් ඉටු කළ යුතු වගකීම ඉටු කරමින් මෙම දැනුම්දීම සිදු කරන බවය. ත්‍රස්තවාදය මුලිනුපුටා දැ‍මීමේ දී ජනාධිපතිවරයාත් ආරක්ෂක ලේකම්වරයාත් සමඟ එක්ව කටයුතු කළ හිටපු යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් දැනට පවතින මතභේද හා අසමඟිකම් රටේ ඉදිරි ගමනට බාධාවක් වන බව මහානායක හිමිවරුන් පවසයි.
කරුණා සහ පිල්ලෙයාන් වැනි ත්‍රස්තවාදයට සම්බන්ධ‍ව කටයුතු කළ පිරිස් මේ වන විට රජයට සම්බන්ධ මැති ඇමතිවරුන් ලෙස කටයුතු කරන බව මහානායක හිමිවරුන් පෙන්වා දී ඇත. ඒ අනුව රටේ ඒකීය භාවය සහ ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කටයුතු කළ සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිස ජනාධිපති බලතල භාවිත කොට අදාළ සියලු චෝදනා වලින් නිදොස් කොට අත්අඩංගුවෙන් මුදා හැර නිසි ආරක්ෂාව ද ලබා දෙන ලෙස මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

0 comments:

Post a Comment