Saturday, February 13, 2010

සන්ධානේ අර්බුද එළියට - පිල්ලෙයාන් තනිවම සටනට



ජනාධිපතිවරයා හා සාකච්ඡා කොට අවසන් විසඳමකට එළඹී මහ මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය පිළිබඳ තීරණයක් ගන්නා බව පැවසූ නැගෙනහිර මහ ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් එම සාකච්ඡා අසාර්ථක වූ බැවින් මෙවර මහ මැතිවරණයට තනිවම තරඟ කරන බව පවසයි. මේ අනුව පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුත් පක්ෂය වන දෙමළ මහජන විමුක්ති කොටි සංවිධානය හෙවත් ටී.එම්.වී.පී පක්ෂය මෙවර මහ මැතිවරණයේදී බෝට්ටුව ලකුණින් තනිව ඉදිරිපත් වන බව එම පක්ෂයේ මහ ලේකම් තෛලේෂ්වර රාජා මාධ්‍ය හමුවේ පවසා ඇත.
ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර අවසන් තීරණයට එළඹෙන බව පැවසුවද මෙම අවසන් සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා සහභාගී වී නොමැත. ජනාධිපතිවරයා වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත. මෙම සාකච්ඡාව ද අසාර්ථක වී ඇති අතර, මේ අනුව ටී.එම්.වී.පී. පක්ෂය බෝට්ටුව ලකුණින් තරඟ කිරීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත් මෙම සාකච්ඡා අසාර්ථකවීම පිටුපස ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. පසුගිය කාලය පුරාම කරුණා හා පිල්ලෙයාන් අතර දිගින් දිගටම ගැටුම් පැවති අතර, දෙපාර්ශවයේ පිරිස් දෙපාර්ෂවය විසින් ඝාතනය කිරීම් නැගෙනහිරදී වාර්තා විය. කරුණා හා පිල්ලෙයාන් එක්ව ටී.එම්.වී.පී පක්ෂය ගොඩනැගුවද පසුව කරුණා විදේශගතවීමෙන් පසු කරුණාගේ පක්ෂ නායකත්වය පිල්ලෙයාන් විසින් බලහත්කාරයෙන් පැහැරගැනුණි. පසුව කරුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව එහි උප සභාපති ධූරයක්ද ලබා ගත් අතර, මෙයින් පසු කරුණා හා පිල්ලෙයාන් අතර දිගින් දිගටම ගැටුම් ඇති විය.
මෙම ගැටුමේ එක් අවස්ථාවක් ලෙස පිල්ලෙයාන් පාර්ශවය හා ජනාධිපතිවරයා අතර ඇති සාකච්ඡා අසාර්ථක වූ බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

0 comments:

Post a Comment