Wednesday, February 2, 2011

විදේශ රැකියා කරන 99%ට අඩු වැටුප් ලැබෙන්නේ නිසි පුහුණුවක් නැති නිසයිFebruary 2, 2011 04:03 pm

වැඩිම විදේශ විනිමයක් අපේ රටට ගලා එන්නේ විදේශ රැකියා හරහා වන මුත් ශ‍්‍රී ලාංකිකයන්ගෙන් 99% ක් විදේශ රැකියා කරන්නේ අඩුම වැටුප් ගෙවන මැදපෙරදිග කලාපයේ බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මේ තත්ත්වය උදාවී තිබෙන්නේ විදේශ රැකියා කරන අයට නිසි පුහුණුව හා රජයේ සහතිකයක් නොමැතිවීම නිසා බව අලහප්පෙරුම මහතා ප‍්‍රකාශ කළේය.

ඉදිකිරීම්, අභ්‍යාස හා පර්යේෂණ ආයතනය( ICTAD)යටතේ පුහුණුව ලබන අයට තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් NVQසහතික ලබාදීම වෙනුවෙන් නිවාස, ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍යාංශය සහ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය අතර අද (02)අවබෝධතා ගිවිසුමකට එලඹීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

අදාළ ගිවිසුමට යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, සු.සො.හේවාපතිරණ, නිවාස ඉඳිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්, එස්.එම්.ගෝඨාභය ජයරත්න යන මහත්වරුන් විසින් අත්සන් තබන ලදී.

එහිදී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.

ඉඳිකිරීම් ක්ෂේත්‍රයට අදාළ තීරණාත්මක කටයුත්තකට පය තබන මේ මොහොතේ අප සියලූ දෙනාම සාක්ෂිකරුවන් වී සිටිනවා. අප සියලූ දෙනාම එකතු වී ඉදිකිරීරීම් ක්ෂේත්‍රයේ වසරකට පුහුණුව ලබාදෙන්නේ 10,000 කට පමණයි. පෙර දැනුම ඇගයීම( RPL )මඟින් ලබාදෙන සහතික මඟින් ක්ෂේත්‍රයේ නියුතු නිපුණයන්ගේ ආර්ථිකය වගේම ගෞරවයත් හිමිකරදී තිබෙනවා.

2012-2014 කාලය තුල වැඩිම වැටුප් ගෙවන යුරෝපීය වෙළෙඳ පොළ ආක‍්‍රමණය කරන්න අපිට පුළුවන් වේවි. ඒ සඳහා අවශ්‍ය පුහුණු ශ‍්‍රමිකයන් බිහිකිරිමට අද (02) අත්සන් තබන ලද මේ ගිවිසුම මහෝපකාරී වෙනවා.

මෙම අවස්ථාවට සහභාගී වූ නිවාස ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍ය, විමල් වීරවංශ මහතා ද අදහස් දැක්වීය.

"අපි දෙන්නා අමාත්‍යවරුන් වශයෙන් රාජකාරී වැඩකට සම්බන්ධ වන පළමු අවස්ථාව මෙයයි. 1990 දශකයේ මුල් භාගයේ ලක්දිව හිරු පත්තරවල වැඩකරන කාලයේ මෙතුමාගේ බෝඩිමේ නිදාගෙන ඉදලා උදේට නැගිටලා යනවා. අපි දෙන්නා අද රටේ අනාගතය වෙනුවෙන් වූ ප‍්‍රබල දායකත්වයක් ලබාදෙන තැන් දෙකක වැඩකරනවා. උතුරේත්, දකුණේත් ඇතිවූ සෑම දේශපාලන ගැටුමකම පිටුපස රිදුම් දුන් කණ්ඩායම් දෙකක් නියෝජනය කිරීමේ වගකීම අපිට පැවරිලා තිබෙනවා. මෑත කාලයේ වෙන කවරදාවත් නොතිබූ ආකාරයේ විශාල පිබිදීමක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන බැවින් නිපුණත්වයෙන් යුත් ශ‍්‍රමිකයන් බිහිකිරීමේ අවශ්‍යතාවය වඩ වඩාත් වැදගත් වෙනවා."

තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ටී.ඒ.පියසිරි, ඉඳිකිරීම් අභ්‍යාස සහ පර්යේෂණ ආයතනයේ සභාපති, උදුල බණ්ඩාර අවුසදහාමි යන මහත්වරුන්ද මෙහිදී කතා කළෝය

0 comments:

Post a Comment