Wednesday, December 8, 2010

සුදු කොඩියට මුල් වීඩියෝ ඕනද..?-තීන්දුව 16 දාට කල්තබයි


මුල් වීඩියෝ පටය නොමැතිව සරත් ෆොන්සේකා මහතාගේ සුදු කොඩි ප්‍රකාශයට අදාළ නඩුවේ වීඩියෝ සාක්ෂි මෙහෙයවීමට අවසර දෙන්නේද නැද්ද යන තීන්දුව ලබන 16 වෙනි දින ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණයට දැනුම් දී සිටියේ මෙම නඩුවට අදාළ තවදුරටත් කරුණු දැක්වීමට තවදුරටත් නීතිපතිවරයාට අවස්ථාව ලබාදිය යුතු බවයි.

එයට තම විරෝධය පළ කරන බව විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයට දන්වා සිටියේය.

කෙසේ වෙතත් මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ වැඩිදුර කරුණු දැක්වීමට අවශ්‍ය නම් එම කරුණු ලිඛිත දේශන වශයෙන් මීළඟ නඩු දිනයට ප්‍රථම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබන 16 දා ප්‍රකාශයට පත් කරන බව සඳහන් කර තිබේ. -

ඉකුත්දා අධිකරණය නියෝගයක් නිකුත් කරමින් පසුගිය ජනාධිපතිවරණය සමයෙහි විත්තිකාර සරත් ෆොන්සේකා මහතා රත්නපුරේදී කළ කතාව අඩංගු මුල් වීඩියෝ පටය අධිකරණයට ඉදිරිපත් කරන මෙන් දෙරණ රූපවාහිනී ආයතනයට නියෝග කර තිබුණි. එහෙත් එහි මුල් පිටපත තමන් සතුව නොමැති බව දෙරණ රූපවාහිනී ආයනතය අධිකරණයට දැනුම් දෙන ලදී.

මුල් වීඩියෝ පටය නොමැතිව මෙම වීඩියෝ සාක්ෂිය මෙහෙයවීම සිදුකළ නොහැකි බවට මෙහිදී විත්තියේ නීතිඥවරයා මීට පෙර අධිකරණයට කරුණු දක්වමින් තර්ක කර සිටියේය.

එසේ කළහොත් විත්තිකරුට දැඩි අසාධාරණයක් සිදුවන බව විත්තියේ නීතිඥවරයා සඳහන් කර තිබුණි.. එහෙත් මුල් පිටපත නොමැතිව වුව ද වීඩියෝ සාක්ෂි මෙහෙයවීමට ප්‍රතිපාදන අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින බවට පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල්වරයා කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබුණි.. adaderanalk

0 comments:

Post a Comment