Tuesday, June 29, 2010

විධායක ජනපති ධුරය දැරිය හැකි වාර ගණන වැඩි කිරීමට එරෙහිව පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් අරගල කරනවා - අනුර දිසානායක


විධායක ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන වැඩි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතද අරගල කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක මහතා පවසයි.

ඊයේ (28) කොළඹ මහජන පුස්තකාලයේ පැවති දේශනයකදී ඔහු මේ බව පැවසීය. ‘ව්‍යවස්ථා සංශෝධන රටටද? පවුලටද?’ යන්න එහි තේමාව විය. කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පිළිගැනීමේ කතාව කළේය. දේශනය ශ‍්‍රවණය කිරීම සඳහා විවිධ දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

අනුර දිසානායක මහතා මෙසේද පැවසීය.

‘‘දැනට ආරංචි තිබෙන ආකාරයට ජූලි 23 වැනිදා මේ ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙස ගෙන එන්න කටයුතු කරනවා. සමාජයේ පුළුල් කතාවකට ඉඩ නොතබා, ව්‍යවස්ථාවෙන් ඇති ඉඩ හා පාර්ලිමේන්තුවේ ඇති බලය භාවිත කරමින් මේ පනත හදිසි පනතක් ලෙස සම්මත කර ගන්න තිබෙන අවශ්‍යතාව කුමක්ද? සමහරු හිතනවා, ව්‍යවස්ථාව අපට වැඩක් නැහැ කියා. නමුත්, මාධ්‍යවේදීන්ට ලියන්න තිබෙන අයිතිය, ඔබට ඔබේ නියෝජිතයින් පත් කරන්න තිබෙන අයිතිය, මානව හිමිකම් නඩු පවරන්න තිබෙන අයිතිය ඇතුළු ඒ සියල්ලම ලැබී තිබෙන්නේ ව්‍යවස්ථාවෙන්.

78 ව්‍යවස්ථාවට පළමු සංශෝධනය ගෙනාවේ එය ඉදිරිපත් කර මාස දෙකකින් පමණ. ඒක ගෙනාවේ මොනවටද? සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පාලනය ගැන පරීක්ෂණයක් ආරම්භ කළා. ඊට විරුද්ධව ඇයගේ නීතිඥයින් අභියාචනාධිකරණයට ගියා. අභියාචනාධිකරණය තීන්දුවක් දුන්නා, අතීතයට බලපාන ලෙස එවැනි පරීක්ෂණයක් කරන්න බැහැ කියා. ජේ. ආර්. ජයවර්ධන මහත්මයා ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනාවා, අභියාචනාධිකරණයට එවැනි තීන්දුවක් දෙන්න බැහැ කියා. ඒ මොහොතේ ජනතාවගේ අවශ්‍යතාව එය නොවෙයි. ඒක ජේ. ආර්.ගේ අවශ්‍යතාව. නමුත් ඒ නිසා විපක්ෂය දුර්වල වුණා. අත්තනෝමතික ගමනකට පාර හැදුනා. ඉන් පසු සිදු වූ බොහෝ දේට ඒ ව්‍යවස්ථා සංශෝධනය බලපෑවා.

දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ, මන්ත‍්‍රීවරුන් පක්ෂය මාරු කළ විට ඔවුන්ගේ මන්ත‍්‍රී ධුරයත් අහෝසි කළ හැකි වන පරිදි. ඒක ගෙනාවේ ජේ. ආර්.ට තමන්ට තිබුණු 5/6ක බලය තමන් අතේම තබා ගැනීමට අවශ්‍ය වූ නිසා. ජනතාවට එවැනි ප‍්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ හයෙන් පහේ බලය තමයි, 13 වැනි සංශෝධනය සම්මත කළේ. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ. එහි විපාක අපේ ජීවිතවලට බලපෑවා.

තුන්වැනි සංශෝධනය ගෙනාවේ, ජනාධිපතිවරයාට අවුරුදු හතරක් ගිය පසුව ඡුන්දයක් පවත්වන්න බලය ලබා දෙමින්. ඇත්තටම ඡුන්දය තියන්න තිබුණ් 84 පෙබරවාරි. නමුත් 82 ඡුන්දය පැවැත් වූවා. එම සංශෝධනය නොවුණා නම් කළු ජූලිය නිර්මාණය නොවෙන්න ඉඩ තිබුණා. කළු ජූලිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අනුදැනුම යටතේ සිදු වූ දෙයක්. ජනාධිපතිවරණයට සුළු ජාතික ඡුන්ද වැදගත්. එසේ නම්, 84 පෙබරවාරි ජනාධිපතිවරණයක් තබාගෙන, ජූලි මාසේ දෙමළ ජනයාගේ කඩ පුච්චන්නේ නැහැ. ඒ නිසා කළු ජූලියට මග පාදන්න එම ව්‍යවස්ථා සංශෝධනය බලපෑවා. එහි අනිටු විපාක අප අදත් අත්විඳිමින් ඉන්නවා.

77 ඡන්දයෙන් පත් වුණු ආණ්ඩුව අවුරුදු හයක් වලංගුයි කියා 78 ව්‍යවස්ථාවේම සඳහන් කොට තිබුණා. මොකද 77 ආණ්ඩුව පත් වුණේ කේවල ක‍්‍රමය යටතේ නිසා. ඒ අනුව අවුරදු හයකින් ඡුන්දයක් පැවැත් විය යුතුයි. නමුත් ජේ. ආර්. ජයවර්ධන මහතා හතර වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනත් එම කාලය 89 අවුරුද්ද දක්වා දීර්ඝ කළා. එය සම්මත කරන්නයි ජනමත විචාරණය පැවැත් වූයේ. 83 සමානුපාතික ඡන්දය තිබුණා නම් පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් වෙනවා. 60,000ක් ඝාතනය වෙන්න ඒ ව්‍යවස්ථා සංශෝධනය බලපෑවා. ඉන්දියානු ආක‍්‍රමණික හමුදාව ගෙන්වන්න ඒ බලය සමත් වුණා. එය අපේ ජීවිතවලට බලපෑවා.

මේ ව්‍යවස්ථා සංශෝධන අපේ ජීවිතවලට බලපානවා. ඒ නිසා කිිසිවකුට කියන්න බැහැ, ව්‍යවස්ථා සංශෝධන අපේ ජීවිතවලට බලපාන්නේ නැහැ කියා.

මේ මොහොතේ ගෙන ආ යුත්තේ ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන වැඩි කරන සංශෝධන නොවෙයි. එම ධුරය අහෝසි කළ යුතුයි. මේක වනචාරී යුගයට සරිලන තනතුරක්.

මේ විධායක බලය කැබිනට් මණ්ඩලයේ බලය ශුන්‍ය කර තිබෙනවා. පාර්ලිමේන්තුව කතා සාප්පුවක් බවට පත් කර තිබෙනවා. අධිකරණය ඉක්මවා යන බලයක් විධායක ජනාධිපති ධුරය සතුයි. අද රටේ මුදල්වලින් 47%ක් පාලනය කරන්නේ රාජපක්ෂ පවුල. මේ තනතුර රටේ සංවර්ධනයට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, යහපාලනයට බාධා කර තිබෙනවා. එවැනි අසීමිත බලයක් සහිත ධුරයක් එක් පුද්ගලයකුට දැරිය හැකි වාර ගණනට සීමාවක් තිබිය යුතුයි. ඇමරිකාවේ එම ධුරය දැරිය හැකි වාර ගණන දෙකයි. ප‍්‍රංශයේ වාර දෙකයි. විධායක ජනාධිපති ධුරය සහිත බහුතරයක් රටවල එම වාර ගණන දෙකට සීමා කර තිබෙනවා. එසේ කර තිබෙන්නේ, එම ධුරය දැරිය හැකි කාලයට අනිවාර්යයෙන්ම සීමාවක් තිබිය යුතු නිසා.

ඇයි දැන් හදිසියේ මේක ගේන්නේ. මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වාරය ගැන ප‍්‍රශ්නයක් මතු වෙන්නේ 2016 දී. ඇයි දැන් හදිසි පනතක් ලෙස ගෙන එන්නේ. මේ වෙලාවේ ගෙනාවොත් විතරයි එය සම්මත කර ගන්න පුළුවන්. මේ සංශෝධනය ගෙන එන්නේ මහින්ද රාජපක්ෂ මුහුණ දී තිබෙන ගැටලූවට උත්තරයක් ලෙසයි.

බැසිල් රාජපක්ෂ මහතා කියා තිබුණා, නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්න නම් අවශ්‍ය වෙන්නේ වයස් සීමාව අවුරුදු 35 සීමාව 30 දක්වා අඩු කිරීම කියා. ව්‍යවස්ථාවේ තිබෙන්නේ අවුරුදු 30 සීමාව තමයි. ඒකේ අඩු කරන්න දෙයක් නැහැ. නමුත් දැන් අමීර් ඛාන් එක්ක ක‍්‍රිකට් ගහ ගහ ඉන්න කොල්ලා 2016 දී ජනාධිපති කරන්න බැහැ. ඒ සඳහා සූදානම් කිරීමට කාලයක් අවශ්‍යයි. කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දී ජාතික නායකයෙක් කරන්න ඕන. දැන් ඒ දේ කරමින් ඉන්නවා. ඒ ක‍්‍රියාවලිය 2016 වන විට සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා නාමල් රාජපක්ෂ ඊට සූදානම් කරන තුරු ජනාධිපති ධුරය තමන් අතේ තබා ගන්නයි මහින්ද රාජපක්ෂ මේ සංශෝධනය ගෙන එන්නේ. ජනාධිපති ධුරය බැසිල් රාජපක්ෂට දෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔහු වෙන ගමනක් ආරම්භ කරනවා.

ප‍්‍රශ්නය තිබෙන්නේ මේ ධුරය දිගු කාලයක් එක් පුද්ගලයකු අත තිබීමෙන් ව්‍යවස්ථාමය ඒකාධිපතිත්වයක් ඇති වෙනවා. ඒ නිසා මේ සංශෝධනය පරාජය කළ යුතුයි. අපට වෙනත් කරුණු ගැන විවිධ වෙනස්කම්, ගැටලූ තිබෙන්න පුළුවන්. ඒත් මේ සංශෝධනය පරාජය කරන්න සියලූ දෙනා එක් විය යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ අරගලයක් තිබෙනවා. ඊටත් වඩා වැඩි අරගලයක් තිබෙන්නේ පාර්ලිමේන්තුවෙන් පිටතයි.’’lankatruth

0 comments:

Post a Comment