Tuesday, June 29, 2010

සන්ධානයක් නෑ-එත් සහයෝගයෙන් ක‍ටයුතු කරනවා


හිටපු එල්.ටී.ටී.ඊ සංවිධානයේ පිරිස් සමග රජය සන්ධානගතව කටයුතු කරන බවට ඇතැම් මාධ්‍ය මගින් පළවන ප්‍රවෘත්තීන් අසත්‍ය බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එසේවුවද එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතැති දෙමළ ඩයස්පෝරාවේ පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත්වූ වග ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා පිළිගත් බව බී.බී.සී ලෝක සේවයේ වෙබ් අඩවිය උපුටා දක්වයි.

ඒ අනුව මෑතකදී දැනට අත්අඩංගුවේ පසුවන ජ්‍යේෂ්ඨ එල්.ටී.ටී.ඊ නායකයෙකුගේ මැදිහත්වීමෙන් මෙම පිරිස සමග සාකච්ඡා කළ බවත්,එහිදී මානුෂීය ගැටලු සම්බන්ධයෙන් මූලික අවධානය යොමු වූ බවත් ආරක්ෂක ලේකම්වරයා බී.බී.සී සේවයට පවසා ඇත.

එල්.ටී.ටී.ඊයේ ජාත්‍යන්තර කටයුතු භාරව සිටි නායකයා ලෙස සැලකෙන කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී විසින් මෙම පිරිස ශ්‍රී ලංකා ආණ්ඩුව හා සාකච්ඡා කිරීමේ අවස්ථාව සලසා දීමට සම්බන්ධීකරණ භූමිකාව ඉටුකළ බව දෙමළ සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයෙකු වන චාල්ස් ඇන්තනීදාස් විසින් පවසා තිබේ.

මෙම පිරිස යාපනය,වව්නියාව,කිලිනොච්චිය ආදී ප්‍රදේශවල සංචාරයක නිරත වූ බවත්,එහිදී සංවර්ධන කටයුතු හා පුනරුත්ථාපන කටයුතු වල ප්‍රගතිය සහ ගැටලු ද සාකච්ඡාවට බඳුන් කළ බවත්, ඒ සඳහා කේ.පී විසින් සහය ලබාදුන්න ද මෙම පිරිසට කේ.පී ඇතුළත් නොවුණු බවත් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළ බව බී.බී.සී සේවය උපුටා දක්වයි.

එසේවුවද ශ්‍රී ලංකා රජයට එරෙහි යුද අපරාධ චෝදනා වලට එරෙහිව ජාත්‍යන්තරයට කරුණු දැක්වීමට දැනට අත්අඩංගුවේ පසුවන කේ.පී රජයේ සාක්ෂිකරුවෙකු ලෙස පාවිච්චි කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට රජයේ ජ්‍යෙෂ්ඨයෙකු පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණු බවද බී.බී.සී සේවය සඳහන් කරයි.

කේ.පී දෙමළ ඩයස්පෝරාවේ වැඩි පිරිසක් සමග ගනුදෙනු කිරිම සඳහා සහය ලබාදුන්නද ඔහු තාමත් නිදහස් පුද්ගලයෙකු නොව හමුදා අත්අඩංගුවේ පසුවන පුද්ගලයෙකු බව ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත.

‍කෙසේවුවද හිටපු එල්.ටී.ටී.ඊ හිතවාදී පිරිස් කරුණු අව‍බෝධ කරගෙන රජයත් සමග සහයෝගයෙන් දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමට සූදානමක් පෙන්නුම් කරන බවත්,පිරිසක් රජය සමග සාකච්ඡා කිරීමෙන්ම වැඩි පිරිසක් ඉදිරියේදී රජයේ වැඩපිළිවෙළ සමග එකගවීමට කැමැත්ත පළකිරීමේ පෙරනිමිත්තක් පෙන්නුම් කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. adaderana

0 comments:

Post a Comment