Saturday, April 24, 2010

ස්ථානාධිපතිට අවනත නැතැයි කිරිබත්ගොඩ පොලිසියේ 44 කට ස්ථාන මාරු


කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 44 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලැබි ඇත. රාජකාරි අවශ්‍යතා මත යැයි පවසමින් අදාල ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එච්.එස්.දයානන්ද මහතා විසිනි. නමුත් වාර්තා වන අන්දමට මෙහි සැබෑ හේතුව වී ඇත්තේ අදාල පොලිස් නිලධාරීන් කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිට අවනත භාවයක් නොදැක්වීමයි.
මෙම ස්ථාන මාරුවීම් සඳහා වත්මන් රජයේ කැලණිය ප්‍රදේශයේ ඇමැතිවරයෙකු ඍජුවම සම්බන්ධව ඇත. ‍එනම් කිරිබත්ගොඩ පොලිසියේ වත්මන් පොලිස් ස්ථානාධිපති චමින්ද මහතා කිරිබත්ගොඩ පොලිසියට අනුයුත්ක කර ඇත්තේ වත්මන් ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා මහතා විසිනි. චමින්ද මහතාට පෙර සිටි සමරකෝන් බණ්ඩා මහතා කිරිබත්ගොඩ පොලිසියෙන් මාරු කර යවන ලද්දේද අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අනුගතව සේවය නොකිරීම හේතුවෙනි. මර්වින් සිල්වා මහතා කැලණිය ආසන සංවිධායක ලෙස පත්වීම ලබා කිරිබත්ගොඩ මංසන්ධියට පැමිණි අවස්ථාවේදී එවකට කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස සේවය කළ සමරකෝන් බණ්ඩා මහතා අදාල අවස්ථාවට සහභාගී නොවීම හේතුවෙන් සමරකෝන් බණ්ඩා මහතාට අමාත්‍ය මර්වින් සිල්වා මහතා බැන වැදුණු ආකාරය එදින මාධ්‍ය මගින් පළ කෙරිණි.
මෙයින් ආරම්භ වූ අමාත්‍ය මර්වින් සිල්වා මහතා පොලිසියට අත පෙවීමේ තත්ත්වය අවසන් වූයේ තමන්ට අවනත නොවන සමරකෝන් බණ්ඩා මහතාට ස්ථාන මාරුවීම් ලබා දී තමන්ට අනුකූල චමින්ද නමැත්තා කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති කිරීමෙනි. චමින්ද මහතා පසුගිය මැතිවරණයේදී ද අමාත්‍ය මර්වින් සිල්වා මහතාට ප්‍රසිද්ධියේ සහය දුන් බවත්, අමාත්‍යවරයාගේ නීති විරෝධී ක්‍රියා සාධාරණීකරණය කිරීමටත් කටයුතු කළ බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල විය.
මැතිවරණය අවසන් ව අමාත්‍ය ධූර ලබාගත් වහාම මේ ආකාරයෙන් කිරිබත්ගොඩ පොලිසියේ නිලධාරීන් 44 දෙනෙකු මාරු කිරීම ද, මැතිවරණ සමයේදී අමාත්‍ය මර්වින් සිල්වා මහතාට සහය ‍නොදැක්වීමත්, සහය දැක්වීම සම්බන්ධයෙන් වූ කිරිබත්ගොඩ ස්ථානාධිපති චමින්ද මහතාගේ නියෝගයන් නොසැලකීමත් බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.lankatruth

0 comments:

Post a Comment