Wednesday, March 3, 2010

පාර්ලිමේන්තුව යළි කැඳවීමෙන් ආරක්ෂාවේ අර්බුදය විසඳෙන ලකුණු


විසුරුවා ඇති පාර්ලිමේන්තුව මාර්තු මස 09 වන දින යළි හදිසියේ කැඳවීමට ජනාධිපතිවරයා තීන්දු කිරීමත් සමග දැනට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව කප්පාදු කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවත්නා"අයිතිවාසිකම් පෙත්සම"ඵල රහිත වන තත්ත්වයක් නිර්මාණය වී ඇත.
ජනාධිපතිවරාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) වගන්තියට අනුව පාර්ලිමේන්තුව යළි කැඳවීමට ඇති බලය උපයෝගී කරගෙන පාර්ලිමේන්තුව කැඳවා ඇතත් මේ අයුරින් පාර්ලිමේන්තුව කැඳවීමට සිදුවනු ඇති බවට අද දෙරණ වෙබ් අඩවිය මගින් කරුණු දක්වා තිබුණේ පසුගිය පෙබරවාරි මස 17 දාය.
2010 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා සියලු කටයුතු සූදානම්ව පවතිද්දී"හදිසි නීතිය"සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇත්දැයි ප්‍රශ්නාර්ථයක් මතු වී තිබුණේ පෙබරවාරි මස 09වන දින මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 06 වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟිනි.
කෙසේ වෙතත් නව පාර්ලිමේන්තුවේ මංගල සැසිය අප්‍රේල් මස 22 වන දින පවත්වන්නට තීරණය කෙරුණේද ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය මගින්මය. එහෙත් දින 30 ක කාලයක් සඳහා බල පැවැත්වෙන"හදිසි නීතිය"මාර්තු මස 05 වන දින දක්වා පමණක් බල පැවැත්වෙන බැවින් එය දීර්ඝ කිරීමට අදාල යෝජනාවට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය පැන නැඟුණි.
එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 ඡේදයේ 4.1 වගන්තියට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව දින දහයක කාලයකට හදිසි නීතිය යළි දීර්ඝ කළ හැකිව තිබුණි. යම් හෙයකින් හදිසි නීතිය දීර්ඝ කිරීමට මාර්තු මස 05 වන දින පාර්ලිමේන්තුව කැඳවනු ලැබුවහොත් හිටපු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර එළඹෙන මහ මැතිවරණ දිනය වන තෙක් වලංගු වන බව ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජගත් ගජවීරආරච්චි මහතා අද දෙරණට කියා තිබුණි.
කෙසේ වුවද මේ වන විට මාර්තු මස 09 වන දින යළි පාර්ලිමේන්තුව කැඳවා ඇති තත්ත්වයක් තුළ හිටපු මන්ත්‍රීවරුන්ගේ වැටුප් ඇතුළු සියලු වරප්‍රසාදයන් අප්‍රේල් මස 08 වන දින තෙක් ලබාදීමට සිදුවේ. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් අධිකරණයේ පිහිට පතන ලදී.
විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම පෙරේදා(1)සලකා බැලූ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසත්, ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කරන ලදී.
විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර තිබුණේ ඔවුන්ට තර්ජනයක් තිබුණු හෙයින් බවත්,පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ පමණින් එකී තර්ජනය පහව ගොස් නැති බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එදින අධිකරණයේදී පෙන්වා දුන්හ.
එහෙත් රජයේ නීතිඥයින් කියා සිටියේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීම නීත්‍යනුකූල දෙයක් නොව එය වරප්‍රසාදයක් පමණක් බවයි. එසේ වුවද පක්ෂ මහ ලේකම්වරුන්ට හා පක්ෂ නායකයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට පියවර ගෙන ඇති බවද නීතිපතිවරයා මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට සඳහන් කරන ලදී.
මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව පක්ෂ ලේකම්වරුන්ට සහ නායකයින්ට ලබා දී ඇති තරමින් හෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් ගාමිණී අමරතුංග මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කරන ලදී.

කෙසේ වුවද පාර්ලිමේන්තුව යළි කැඳවන හෙයින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනා යළි"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්"බවට පත්වන නිසා ආරක්ෂාව ඇතුළු පෙර පැවති සියලු වරප්‍රසාද ලබා දීමට සිදුවන තත්ත්වයක් තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය නොවීමෙන් මේ වන විටත් අධිකරණය හමුවේ විභාගවෙමින් පවත්නා"අයිතිවාසිකම් පෙත්සම"ඵල රහිත වනු ඇත.
එසේ වුවද මාර්තු මස 09 වන දින යළි පාර්ලිමේන්තුව කැඳවා හදිසි නීතිය මසකින් දීර්ඝ කරගනු ලැබූවද එය වලංගු වන්නේ අප්‍රේල් මස 09 වන දින තෙක් පමණි.එතැන් සිට ජනාධිපතිවරයාට හිමි බලතල අනුව පාර්ලිමේන්තුවේ හදිසි නීතිය පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව දීර්ඝ කළ හැක්කේ දින 10 ක කාලයක් පමණි.ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් මස 22 දාය.එබැවින් අප්‍රේල් මස 22 වන දිනට පෙර යළි මාර්තු මස අග හෝ අප්‍රේල් මස මස මූලාරම්භයේ දිනයක හදිසි නීතිය වෙනුවෙන් යළි පාර්ලිමේන්තුව කැඳවනු ලැබිය හැකිය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ පාලන කාලයේදීද මේ අයුරින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට දින නියම කර තිබියදී පාර්ලිමේන්තුව යළි කැඳවන ලදී. ඒ 2000 වසරේ සැප්තැම්බර් 14 වන දිනදාය.ADA

0 comments:

Post a Comment