Saturday, March 6, 2010

දිගුකාලීන ජාතික අරමුණු මත පිහිටා තීරණ ගන්න: ජෙනරාල් අත්අකුරින් ලියූ ලිපියකින් රනිල්ට දැනුම් දෙයි


ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැකීමට සූදානම් වන බැවින් ඊට මුහුණ දීමට විපක‍ෂයේ සියලූ බලවේග ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බව මහා මැතිවරණයට නාම යෝජනා කැඳවූ සතියේ හමුදා අත්අඩංගුවේ සිටිමින් ම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විපක‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

තම අත්අකුරෙන් ලියූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ලිපිය සම්පූර්ණයෙන්ම මෙසේය.

ජෙනරාල් සරත් ෆොන්සේකා

රනිල් වික්‍රමසිංහ මැතිතුමා
නායක, එක්සත් ජාතික පක‍ෂය

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි,

රටේ උද්ගතවී ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී වාතාවරණය වෙනස් කිරීම සඳහා මැදිහත්වීම
---------------------------------------------------------------------------------------

මේ වන විට අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ඉතාම බරපතළ අනතුරකට ගොදුරු වී ඇති බව පසුගිය දින කිහිපය තුළ සිදුවූ සිදුවීම්වලින් පෙනේ. විශේෂයෙන්ම මේ වන විට කිසිදු චෝදනාවකින් තොරව මා අත්අඩංගුවටගෙන රඳවාගෙන සිටීමට ආණ්ඩුව කටයුතු කර ඇත. තවමත් මට එරෙහිව චෝදනා පත්‍රයක් පවා ඉදිරිපත් කර නැති අතර මෙය පෞද්ගලික පළිගැනීමක් නොව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ බරපතළ ප්‍රහාරයක් බව ඕනැම අයෙකුට පැහැදිලිව පෙනේ.
මෙම ප්‍රශ්නයට ගොදුරු වී ඇත්තේ මා සහ මට ආධාර උපකාර කළ අය පමණක් නොවේ. පසුගියදා zලංකාZ පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු නිදහස් කරන අවස්ථාවේදී අධිකරණය ප්‍රකාශ කළේ ඔහුට එරෙහි චෝදනා නැති බවයි. ලංකා පුවත්පත තහනම් කිරීමට ද ආණ්ඩුව උත්සාහ දරන ලදී. ප්‍රකට පුවත් වෙබ් අඩවියක් වන zලංකා ඊ නිව්ස්Z වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු වන ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඇති අතර තවමත් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නැත. ආණ්ඩුව දරන මතයට වඩා වෙනස් මතයක් දැරූ රාජ්‍ය මාධ්‍යවල මාධ්‍යවේදීන්ට ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිකුත්වීමත් සමඟම ආණ්ඩුවේ පළි ගැනීමේ හස්තයට ගොදුරුවීමට සිදුවී ඇත. ඇතැම් මාධ්‍යවේදීන් සේවයෙන් නෙරපා හැර ඇත. එමෙන්ම රාජ්‍ය ආයතන ගණනාවක ආණ්ඩුවට වඩා වෙනස් මත දරන පුද්ගලයන්ට ජනාධිපතිවරණයෙන් පසුව හිරිහැර කිරීම් වාර්තා විය. මේ වනතුරුත් තමන්ගේ සේවා ස්ථානවලට යා නොහැකි තරමට විශාල පිරිසකට තර්ජන එල්ලවී ඇත. තවමත් මෙම තත්ත්වය යහපත් අතට හැරී නැත. මෙම සිදුවීම් විසින් පෙන්වනුයේ ආණ්ඩුවේ මර්දනය කෙතරම් වර්ධනය වන්නේද යන බවයි. එමෙන්ම එය කොතැනට ගමන් කරන්නේද යන බවයි.
මේ අතර හදිසි නීති විධිවිධාන උපයෝගී කර ගනිමින් නව රැඳවුම් කඳවුරු අටක් ප්‍රකශයට පත් කර ඇත. මෙම නව රැඳවුම් කඳවුරු ප්‍රකාශයට පත් කර ඇත්තේ අංක 1639/19, 1640/01, 1640/02 දරන ගැසට් නිවේදන මඟිනි. තිස් වසරක් පුරා අපේ රට තුළ පැවැති යුද්ධය නිමවී ඇති තත්ත්වයක් යටතේ නව රැඳවුම් කඳවුරු ප්‍රකාශයට පත් කිරීමේ කිසිදු පිළිගත හැකි හේතුවක් නැත. මෙමඟින් පෙනී යන එකම කරුණ නම් ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිළීමට සූදානම් බවය. තමන්ට විරුද්ධ මත දරන සියලූ පුද්ගලයන්ට, සංවිධානවලට හා දේශපාලන පක‍ෂවලට හිමි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහුරා දැමීමට හා ඒවාට බාධා කිරීමට කටයුතු කරන බවයි. රාජපක‍ෂ මහතාගේ දෙවන ධූර කාලය ආරම්භ වීමත් සමඟ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අනතුරකට මුහුණ පා ඇත. මේ තත්ත්වය ඔබතුමාගේ අවධානයට යොමු වී ඇතැයි සිතමි.
උද්ගත වී ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයට මුහුණ දීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලූ බලවේග එක්විය යුතුව තිබේ. ඒ සඳහා ඇති සුදුසුම ආකාරය පසුගිය ජනාධිපතිවරණයේදී ඇතිවූ එක්සත්භාවය ඉදිරියට ගෙන යාම සහ පුළුල් කිරීමයි. එසේ එක්සත් භාවය වර්ධනය කර නොගෙන ඉදිරියේදී මතුවන තත්ත්වයන්ට හුදකලා වී මුහුණදිය නොහැකි අතර තනි හුදකලා කි්‍රයාමාර්ගවලින් ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම ද කළ නොහැක. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියල්ලන් එක් අරමුණක් වෙනුවෙන් සමඟි විය යුතුව තිබේ. එය කළ යුත්තේ මා වෙනුවෙන් නොව රට මුහුණ පා ඇති අනතුරෙන් රටත් ජනතාවත් මුදා ගැනීම සඳහායි. මෙහිදී පාර්ලිමේන්තුවේ විපක‍ෂ නායකයා ලෙස ඔබතුමාට සුවිශේෂී කාර්යභාරයක් පැවැරී තිඛෙන බව පැහැදිලිය. පාට, පක‍ෂ හා පටු වුවමනාවන් ප්‍රමුඛ කොට නොසලකා රටේ පොදු වුවමනාවන් ප්‍රමුඛත්වයේ ලා සලකමින් කි්‍රයාත්මක විය යුතු අවස්ථාව දැන් එළඹ ඇතැයි මම විශ්වාස කරමි. ඒ වෙනුවෙන් ඔබේ පරිණත හා දිගුකාලීන අත්දැකීම් උපකාරී කරගනිමින් මැදිහත් වනු ඇතැයි මම අපේක‍ෂා කරමි. පසුගිය ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, 17 වන ව්‍යවස්ථා සංශෝධනය කි්‍රයාත්මක කිරීම යන ඉල්ලීම් හරහා ගොඩ නැගී පසුව පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු දක්වා වර්ධනය වන ලෙස පක‍ෂ හා සංවිධාන අතර ඇති වූ එක්සත්භාවය තවත් සංවිධාන හා පුද්ගලයන් එක් කරගනිමින් පුළුල් කිරීමට ඔබතුමා පියවර ගනු ඇතැයි විශ්වාස කරමි. මේ මොහොතේදි අප ගන්නා තීරණ හෙට දවසේ රටේ ජනතාවගේ අයිතීන් හා නිදහස දිනාගැනීම පිළිබඳව තීරණාත්මක කාර්ය කොටසක් ඉටු කරනු ඇත. එබැවින් කෙටිකාලීන අවශ්‍යතා මත නොව දිගු කාලීන ජාතික අරමුණු මත පිහිටා තීරණ ගැනීමට ඔබතුමා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
ඔබට ශක්තිය හා ජය
ස්තූතියි,
මෙයට විශ්වාසී

ජෙනරාල් සරත් ෆොන්සේකා
(ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය අත්අකුරින් ලියූ ලිපියේ ඡායා පිටපත් දෙකක් පහත දැක්වේ)

විශේෂ ස්තූතිය: ලංකා පුවත්පතට lankaen

0 comments:

Post a Comment