Wednesday, February 10, 2010

කේ.පී යාළුවෙක්-ෆොන්සේකා ද්‍රෝහියෙක්


එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක කේ.පී දැන් ආණ්ඩුවේ මිත්‍රයෙකු වී සැපෙන් සිටින බවත්,‍සරත් ෆොන්සේකා මහතා දේශ ද්‍රෝහියෙකු කොට නීති විරොධී ලෙස රඳවාගෙන ඇති බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම නීති විරෝධී,ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව හෙතෙම කියා සිටියි.
හමුදා පනත අනුව සලකා බැලුවද හිටපු හමුදා නිලධාරියෙකු හෝ හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේදී පැය 24 ට කලින් වගකිවයුත්තකුගේ අත්සනක් සහිතව දැනුම් දිය යුතුව තිබුණත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සිදුවූයේ බලහත්කාරයෙන් පැහැරගෙන යාමක් ලෙස බවද විපක්ෂ නායකවරයා කියා සිටියේ අද සවස පැවති මාධ්‍ය හමුවකදීය.
ආරක්ෂක මණ්ඩලයේ තීරණයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බව කියා සිටියද එහෙව් මණ්ඩලයක් ගැන ව්‍යවස්ථාවේ අන්තර්ගතව නැති බවත්,මෙම රඳවා ගැනීම මුළුමනින්ම දේශපාලන පළිගැනීමක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හමුදාවෙන් විශ්‍රාම ගිය කෙනෙකු විපක්ෂයේ දේශපාලනයට සහය දැක්වීම වැරැද්දක් හැටියට සලකන්නට කිසිදු හැකියාවක් නැතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

0 comments:

Post a Comment