Monday, March 1, 2010

පොලිස් නිලධාරියාගේ පෙත්සමට අවසර


පසුගිය ජනාධිපතිවරණ සමයේ අපහාසාත්මක පත්‍රිකා ප්‍රවාහනය කළ නාවික හමුදා රථයක් අත්අඩංගුවට ගැනීමෙන් පසු තමන්ව ස්ථාන මාරු කළ බවට චෝදනා කරමින් කුරුණෑගල පොලිසියේ හිටපු ස්ථානාධිපති එම්.එච්.‍කේ. වික්‍රමරත්න මහතා ගොනු කළ පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දී තිබේ.
එම ස්ථානමාරුව තුළින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී තිබේ දැයි විභාග කිරීමට තීන්දු කළ ශිරාණි තිලකවර්ධන මහත්මිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසට නොතීසි නිකුත් කළාය.
පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා කියා සිටියේ මැතිවරණ සමයේ අදාළ පත්‍රිකා තොගය අත්අඩංගුවට ගැනීමත් සමග කිසිදු පදනමක් නොමැතිව පෙත්සම්කරු මන්නාරමටත් එයින් පසු පොලිස් අධ්‍යාපන විද්‍යාලයටත් මාරු කර යැවීමත් තුළින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇති බවයි.
මෙහිදී පෙත්සම්කරුට එරෙහිව මූලික විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රජයේ නීතීඥවරිය කියා සිටියාය.
කෙසේ වෙතත් අදාළ ස්ථාන මාරුව තුළින් බැලූ බැල්මට ගැටලු සහගත තත්ත්වයක් පෙනී යන බැවින් ඒ පිළිබඳ විභාගයක් පැවැත්වීමට තීරණය කළ අධිකරණය අදාළ නඩු විභාගය මැයි මස 26 වැනිදා පැවැත්වීමට තීන්දු කළාය.ada

0 comments:

Post a Comment