Monday, March 1, 2010

ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම ව්‍යවස්ථාවට පටහැනියි


හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා මහතා දේශපාලන සිරකරුවකු බව හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා මහතා අද ප්‍රකාශ කළේය. එමෙන්ම සරත් ෆොන්සේකා විසින් අප වෙත දිනාදුන් නිදහස ඔහුට අහිමි කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම අ‍ාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සරත් ෆොන්සේකා මහතාගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් දක්වමින් හිටපු අගවිනිසුරුවරයා කියාසිටියේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තියට අනුව හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගත හැක්කේ විනය ආරක්ෂා කරගැනීම සහ යථා පරිදි රාජකාරී කටයුතු ඉටුකරගැනීම යන කරුණු මත පමණක් බව ඒ මහතා පෙන්වාදෙයි. හමුදා නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වන බව හිටපු අගවිනිසුරුවරයා සඳහන් කළේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විශ්‍රාමික නිලධාරියෙකු බැවින් ඔහුට මෙම නීතිය බලාත්මක නොවන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
කෙ‍සේවෙතත් හිටපු අගවිනිසුරුවරයා ඉදිරිපත් කරන මෙම නීති තර්ක සම්බන්ධයෙන් අධි නීතීඥ ගෝමින් දයාසිරි මහතා සඳහන් කළේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ද හමුදාමය තනතුරක් වන බවය. එය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනතෙන් පිළිගෙන ඇති බව ඒ මහතා පැවසු‍වේය. ඒ අනුව හමුදා සාමාජිකයෙකු විශ්‍රාම ගොස් මාස 6ක් යනතුරු හමුදා නීතියට යටත් වන බැවින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම ව්‍යවස්ථානුකූලව සිදුවූ බව ගෝමින් දයාසිරි මහතා සඳහන් කළේය.ada

0 comments:

Post a Comment