Sunday, February 14, 2010

ආගම ඇදහීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට බාධා නොකරන්න - ජාතික භික්ෂූ පෙරමුණ ජනපතිගෙන් ඉල්ලයි

ආගම ඇදහීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට මේ වන විට බරපතල බාධාවන් ඇති වෙමින් පවතින බවත්, අත්අඩංගුවට ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද දිනයේදී දිවයින පුරා සංවිධානය කරන ලද බෝධි පූජා ඇතුළු ආගමික වතාවත්වලට ආණ්ඩුවේ විවිධ පාර්ශවයන්ගෙන් බාධා එල්ල වන බවත්, ජනාධිපතිවරයා ලෙසත්, බුද්ධ ශාසන අමාත්‍යවරයා ලෙසත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ආගම ඇදහීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂිත කරන ලෙස ජාතික භික්ෂු පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ගරු අත්තනයාලේ සමිත ස්වාමීන් වහන්සේගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයාට යොමු කරමින් මේ බව දන්වා ඇත. එම ලිපිය මෙසේය.
ආගම ඇදහීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට බාධාවීම පිළිබඳවයි
මේ වන විට රට තුළ බරපතල ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහෝසි වෙමින් යන වටපිටාවක් නිර්මාණය වී ඇත. විශේෂයෙන් කතා කිරිමේ, සිතීමේ, ලිවීමේ පමණක් නොව ආගම ඇදහීමේ නිදහසද මේ යටතේ බරපතල ලෙස උල්ලංඝනය වී ඇත. ඒ සඳහා වන උදාහරණ අපමණය. ආසන්න උදාහරණයක් ලෙස අද දින (පෙබරවාරි මස 14 වන දින) ජනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට නිදහස පතා ආශිර්වාද බෝධි පූජා පැවැත්වීමට අප සූදානම් කර තිබුණි. එම බොහෝ ස්ථානවලට බුද්ධි අංශයෙන් යැයි කියමින් පිරිස් පැමිණ විවිධාකාරයේ ප‍්‍රශ්න කිරීම් කර ඇති අතර නිර්නාමික, තර්ජනාත්මක දුරකථන පණිවිඩ ලබාදුන් අවස්ථා අපමණය. එසේම මෙම ආශිර්වාද බෝධි පූජා පැවැත්වීම පිළිබඳ පළකරන ලද ප‍්‍රචාරක දැන්වීම් විනාශ කර ඇත. පැවැත්වීමට සූදානම් කර ඇති බොහෝ බෝධිපූජා පිංකම් කඩාකප්පල් කිරීම සඳහා මෙවැනි සංවිධානාත්මක කි‍්‍රයාදාමයන් රාශියක් කි‍්‍රයාවට නැගෙමින් ඇත. මෙය බුදු දහමට මුල්තැන දෙනවා යැයි ව්‍යවස්ථාවෙන් අනුදත් ශිෂ්ට සම්පන්න රටක සිදු නොවිය යුත්තකි.
ඕනෑම අයෙකු ආගම අදහනුයේ අධ්‍යාත්මික සුවය පතාය. ඒ සඳහා මේ රටේ ජනාධිපතිවරයා වන ඔබ තුමාට ඇති අයිතිය රටේ අවසාන පුරවැසියාටත් එකසේ ඇත. ඊට යමෙක් බාධා කරන්නේ නම් එය ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ කි‍්‍රයාවක් නොවනු ඇත. දහමට අනුව එය වසල කි‍්‍රයාවකි. මෙවැනි තත්ත්වයක් ඔබතුමන් වැන්නකුගේ පාලනය තුළ සිදු වීම ඉතාමත් කණගාටුදායක කාරණයක් ලෙස අප සලකනුයේ පංසල ඇසුරු කරන, සංඝයා කල්‍යාණ මිත‍්‍රයන් සේ සලකන පාලකයෙකු ලෙස ඔබව සලකන නිසාය.
නිරන්තර මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා ලබන, ඒවා හිස් මුදුනින් භාවිතාවට නගන ජන නායකයෙකු ලෙස මේ රටේ ජනතාව ඔබව හඳුනාගෙන ඇත. එබැවින් ඉහත දුර්දාන්ත කි‍්‍රයා පිළිබඳව ඔබතුමාගේ විශේෂ අවධානය යොමුකොට මෙම අදූරදර්ශී කි‍්‍රයා නතර කිරීම සඳහා නිසි කි‍්‍රයාමර්ග ගන්නා ලෙස ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමි.
සංඝයාගේ ඓතිහාසික මැදිහත්වීම නොදන්නා, දුර නොබලන, ළඟ බලන, රාජ්‍යතාන්ති‍්‍රක භාවිතාවේ අඩු දැනුමැති ඇතැම් අය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ගෞරවය පවා කෙලෙසා ප‍්‍රකාශ නිකුත්කරන අවස්ථාද දැන් දැන් මතුවෙමින් ඇත. අප රට හා රටේ වගකිවයුත්තන් ආගම දහම නොසලකා කටයුතු කරන තත්ත්වයට පත්වීම දැහැමි පාලනයකට බාධා වන්නකි.
සතුරාටත් චෛත්‍ය ඉදිකරවා ගෞරව කළ ගෞරවනීය අතීතයක් හා භාවිතාවක් ඇති අප රටේ වර්තමානයේ ආශිර්වාද බෝධි පූජා සිදුකරන විට බුද්ධි අංශයෙන් ප‍්‍රශ්න කිරීමට හා තර්ජනයට ලක්වීම, භික්‍ෂූන් වහන්සේට නොසරුප් වචනයෙන් දෝෂාරෝපණය කිරීම කෙතරම් ඛේදවාචකයක් දැයි සිතා බලනු වටී.
"යෝ බුද්ධං පරිභාසති - අතවා තස්ස සාවකං
පරිබ්බාජං ගහට්ඨං වා - තං ජඤ්ඤා වසලෝ ඉති"යනුවෙන් වසල සූත‍්‍රයේදී වසල ධර්මයක් ලෙස මෙවැනි කි‍්‍රයා හඳුන්වා ඇත.
එබැවින් කෙනෙකුට නිදහසේ ආගම ඇදහීමේ ඇති අයිතියට පවා බාධාකරමින්, බුද්ධි අංශයෙන් යැයි කියාගත් පුද්ගලයන් මගින් ප‍්‍රශ්න කරමින් හා තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදෙමින්, මහා නායක මාහිමිපාණන් වහන්සේලාට අගෞරව වන ලෙස කටයුතු කරමින් ඇතැම් පිරිස් සිදුකරන නොමනා කි‍්‍රයා වහා නතරකිරීමට උපදෙස් ලබාදෙමින් බුදු සසුනේ සුරක්‍ෂිතතාව වෙනුවෙන් කටයුතු කරන ලෙස මේ උතුම් දේශයේ බුද්ධ ශාසන අමාත්‍යවරයා වන ඔබතුමන්ගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.
තෙරුවන් සරණින් යහපතක්ම වේවා!
මෙයට,
සසුන් ලැදි,
පූජ්‍ය අත්තනයාලේ සමිත හිමි
ගරු ප‍්‍රධාන ලේකම්
truth

0 comments:

Post a Comment