Monday, December 6, 2010

මහ වැසි නිසා 64, 000 ට වැඩි පිරිසක් පීඩාවට පත්වෙයි


දින කිහිපයක සිට ඇද හැලෙන වර්ෂාපතනයත් සමග මේ වන විට පුද්ගලයින් 64, 000ට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ.

මේ වන විට අවතැන් වු පුද්ගලයින් පන්දහසකට අධික පිරිසක් දිවයින පුරා පිහිටි කඳවුරු 47ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

විශේෂයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය ද මීට ඇතුළත් බව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

අවශ්‍ය සහන කටයුතු අවශ්‍ය පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා සිදුවන බව ද ඔහු කියා සිටියේය.

මේ අතර පවතින වර්ෂාපතනයත් සමඟ ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශවල වාන් දොරටු කිහිපයක් ඊයේ(06) පස්වරුවේ විවෘත කර ඇත.

2007 වසරෙන් පසු රන්දෙනිගල ජලාශයේ වාන් දොරටු විවෘත කළ පළමු අවස්ථාව මෙය බව එම ජලාශය භාරව කටයුතු කරන කාර්යය භාර ඉංජිනේරු එච් එම් කළුබණ්ඩා මහතා සඳහන් කළේය.

රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශවල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව අවධියෙන් සිටින ලෙස ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
adaderana.lk

0 comments:

Post a Comment