Monday, February 8, 2010

අමරකිත්ති හිමියන් හෙළ උරුමය හැර යයි


ජාතික හෙළ උරුමයේ සභාපති,කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් පක්ෂයේ සභාපති ධූරයෙන් මෙන්ම පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් වී තිබේ.
ජාතික හෙළ උරුමය ගොඩ නඟන විට ර‍ටේ ප්‍රධාන ගැටලුව බවට පත්ව තිබුණේ උතුරු-නැඟෙනහිර ත්‍රස්තවාදය බැවින් ත්‍රස්තවාදයට එරහිව දකුණේ ජන මතය බල ගැන්වීමටත්,නායකත්වය ශක්තිමත් කිරීමටත් තමන් දේශපාලනයට පිවිසුණු බව උන්වහන්සේ කියා සිටියි.
තමන් කැපවූ එකී අරමුණ මේ වන විට දිනා ගෙන ඇති බැවින් තව දුරටත් දේශපාලනයේ නියැළීමට තමන්ට අවශ්‍යතාවයක් නැති බැවින් හා ශාසන කටයුතු වෙනුවෙන් කැපවීමට අදහස් කරගෙන සිටින බැවින් පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කළ බව අද දෙරණ කළ විමසුමකට පිළිතුරු දෙමින් කොටපොල අමරකිත්ති හිමියන් පැවසීය.
ජාතික හෙළ උරුමයේ ප්‍රධාන පක්ෂ කාර්යාලයෙන් මේ පිළිබඳ විමසු විට එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ කොටපොල අමරකිත්ති හිමියන් පක්ෂයේ දේශපාලන කටයුතු වලින් ඉවත් වී මාස 6 ක් පමණ වන බවයි.
එහෙත් අප කළ විමසීමේදී උන්වහන්සේ කියා සිටියේ තමන් පක්ෂයේ සභාපති ධූරයෙන් හා සාමාජිකත්වයෙන් ඉවත් වී සති දෙකක් පමණ වුවත් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ මාධ්‍යයට නිවේදනය කර සිටියේ අද බවයි.
ඉදිරියේදී කිසිදු දේශපාලන ව්‍යාපෘතියක කොටස්කරුවෙකු වන්නට තමන්ගේ කිසිදු බලාපොරොත්තුවක් නැතැයිද,ජාතික හෙළ උරුමයේ දේශපාලන ගමනට තමන් ආශිර්වාද කරන බවද පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

0 comments:

Post a Comment