Wednesday, December 1, 2010

නුවරඑළිය පිපුරුමෙන් අයෙක් මරුට-16 ට තුවාලයි

නුවර‍එළිය පොලීසිය තුළ සිදුවූ බෝම්බ පිපුරුමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී 16 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

පොලීසිය තුළ අද පස්වරුවේ අත්බෝම්බයක් පුපුරා ගිය අතර තුවාල ලැබූ 16 දෙනා අතුරින් 14 දෙනෙකු පොලිස් නිලධාරීන් බවත්,දෙදෙනෙකු සිවිල් වැසියන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

කතරගම සිට හැටන් දක්වා බස් රියකින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා සතුව තිබූ පාර්සලයක් දැක සැක සිතා නුවරඑළිය පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් මොහු ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට රැගෙනවිත් තිබේ.

එහිදී ඔහු සතුව තිබූ පාර්සලයේ කංසා ග්රෑම් 16 ක් තිබුණු බවත්,ඒවා සමග තමන් අත්අඩංගුවට ගන්නේනම් තමන්ගේ කලිසම් සාක්කුවේ ඇති අත්බෝම්බය පුපුරවා ගන්නා බවටත් පොලීසියට තර්ජනය කළ සැකකරු පොලිස් ස්ථානයෙන් ඉවතට පළාගොස් තිබේ.

එහිදී ගේට්ටුව අසල සිටි පොලිස් නිලධාරීන් විසින් සැකකරු අල්ලා ගන්නට උත්සාහ දරද්දී ඔහු විසින් අත්බෝම්බය පුපුරවා ගෙන ඇති බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි ජයකොඩි මහතා කියා සිටියි.

එසේ අත් බෝම්බය පුපුරවා ගැනීමෙන් අදාළ සැකකරු ජීවිතක්ෂයට පත් වූ බවත්,තුවාල ලැබූ පිරිස් රෝහල් ගත කළ බවත් වාර්තා වේ.

සැකකරු මාතලේ ප්‍රදේශයේ පදංචිකරුවෙකු බවත්,හමුදාවෙන් පළා ආ සෙබලෙකු බවට අනාවරණය වී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කරයි

0 comments:

Post a Comment