Thursday, March 11, 2010

යුද අධිකරණය 16 දා කැඳවයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නඟා ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා මාර්තු මස 16-17 යන දෙදින තුළ යුද අධිකරණය කැඳවීමට තීරණය කර ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන්කරයි.
මේජර් ජෙනරාල් එච්.සී.පී.එස් වීරතුංග මහතා එහි සභාපතිත්වය දරන බව සඳහන් වේ.
මේජර් ජෙනරාල් ඒ.එල්.එච් විජේතුංග,ඩී.ආර්.ඒ.‍‍බී ජයතිලක,යන මහත්වරුන් සහ රියාද් අද්මිරාල් ඩබ්.ඩබ්.ජේ.එස් ප්‍රනාන්දු යන තිදෙනා යුද අධිකරණයේ විනිසුරුවන් ලෙස ක්‍රියා කරන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.
නාවික හමුදා මූලස්ථානයේදී මෙම යුද අධිකරණය කැඳවීම සිදුකෙරෙන බව අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හමුදා ප්‍රකාශකයා කියා සිටියේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහි සාක්ෂි සම්පිණ්ඩන වාර්තා පිළියෙළ කර අවසන් බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ මාර්තු මස 10 දාය.
මෙහිදී ඔහුට එරෙහිව යුදාධිකරණය හමුවේ චෝදනා 7 ක් ගොනු කෙරී ඇති වග බව මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා කියා සිටි අතර යුද හමුදා සේවයේ යෙදී සිටියදී දේශපාලනයේ යෙදීම සම්බන්ධයෙන් චෝදනා 3ක් ද යුද හමුදා උපදෙස් පිළිනොපැදීම සම්බන්ධයෙන් චෝදනා 4ක් ද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ගොනු කෙරුණු බව සඳහන් කරන ලදී..
යුද හමුදා පනතේ 124 වන වගන්තියට අනුව සක්‍රීය හමුදා සේවයේ යෙදී සිටියදී දේශපාලනයේ යෙදීම ආශ්‍රිතව චෝදනාවක්ද සහිතව හමුදා පනතේ 102(1)වගන්තිය යටතේ චෝදනා 2 ක්ද ෆොන්සේකා මහතාට එරෙහි එකී චෝදනා ත්‍රිත්වයට ඇතුළත් වේ.
සෙසු චෝදනා 4 ගොනු කර ඇත්තේ හමුදා පනතේ 104(ඊ)වගන්තියට අදාළවය.
මෙම චෝදනා වලට අදාළව යුද අධිකරණය දින දෙකක් තුළ කැඳවනු ලැබීම සඳහා විනිසුරුවන් පත්කර ඇත්තේ යුද හමුදාපතිවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසිනි.
ෆොන්සේකා මහතාට එරෙහිව 35 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර එයින් 22 දෙනෙකු හමුදාසේවයේ නියුතු වූවන් වන අතර 7 දෙනෙකු පොලීසියේද තවත් 06 දෙනෙකු සිවිල් පුරවැසියන්ද වේ.
මේජර් ජෙනරාල් එච්.සී.පී.එස් වීරතුංග මහතා සභාපතිත්වයෙන් යුතු හා මේජර් ජෙනරාල් ඒ.එල්.එච් විජේතුංග,ඩී.ආර්.ඒ.‍‍බී ජයතිලක,යන මහත්වරුන් මෙන්ම රියාද් අද්මිරාල් ඩබ්.ඩබ්.ජේ.එස් ප්‍රනාන්දු යන තිදෙනාගෙන් යුතු යුද අධිකරණයේ විනිසුරුවන්ට අමතරව තවත් සිව් දෙනෙකුගෙන් යුතු විනිසුරු මඩුල්ලක් පත්කර ඇතත් ඒ කවුරුන්ද යන්න හෙළිදරව් කළ නොහැකි බව හමුදා ප්‍රකාශකවරයා පවසන ලදී.
යම් කිසි ගැටලුවක් පැන නැඟුණහොත් ක්‍රියාත්මකවීම සඳහා අතිරේක විනිසුරු මඩුල්ලක් ලෙස එය පිහිටවූ බවද හෙතෙම කියා සිටියේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව චෝදනා විභාග කිරීම සඳහා ඔහුට වඩා ජ්‍යෙෂ්ඨයින් සිටිය යුතු බවත්,එසේ නොමැතිව චෝදනා විභාග කිරීම නීති විරෝධී බවටත් ඇතැමුන් නඟන ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේ හමුදා පනතට අනුව ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ හෝ සම තත්ත්වයෙහිලා කිසිවෙකු නොවීනම් පහළ මට්ටමේ අයට පවා චෝදනා විභාග කළ හැකි බවය. යම් හෙයකින් ‍යුද අධිකරණයේ තීන්දුවෙන් ෆොන්සේකා මහතාට අසාධාරණයක් සිදුවී ඇතැයි ඔහුගේ පාර්ශවය විශ්වාස කරන්නේ නම් එකී තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ හැකි බවය.මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සිදුකර ඇති බවද ෙමහිදී අවධාරණය කෙරිණි.
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙබරවාරි මස 08 වෙනිදාය. ඔහු යුද හමුදාපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන අවධියේම විරුද්ධවාදීන් මෙන්ම ආරක්ෂක හමුදාව යොදාගෙන රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් දියත් කරමින් සිට බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳ පරීක්ෂණයක් කිරීම සඳහා මේ අයුරින් අත්අඩංගුවට ගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා එදින ප්‍රකාශ කර තිබිණි.
ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම යුද්ධයෙන් මුදාගත් රට තුළ යළි බෙදුම්වාදී තත්ත්වයක් ඇතිකිරීමට අහිතකර අන්දමින් බලපෑ හැකි යැයි අමෙරිකා එක්සත් ජනපදය පෙබරවාරි මස 09 වන දින අනතුරු අඟවන ලදී.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගයන් ශ්‍රී ලාංකීය නීතියට අනුගතවේද යන්න පිළිබඳව තම දැඩි අවධානය යොමුකරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ ප්‍රකාශක පිලිප් ක්‍රොව්ලි මහතා AFP වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබුණි. ---- ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට අත්වූ ඉරණම පිළිබඳ තම අවධානයට ලක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා ද පවසා තිබුණි.
මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයා වන මාර්ටින් නෙසර්කි පැවසූ පරිදි ශ්‍රීලංකාවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් සැලකිලිමත් බව බවත්,රජය නීතිමය ක්‍රියා මාර්ග ගන්නා අතරතුරදී ෆොන්සේකා මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු බව මහ ලේකම්වරයාගේ අදහස බවද මෙහිදී පෙන්වා දී තිබුණි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා නුදුරේදීම මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරනු ඇති බවද මහ ලේකම්වරයාගේ ප්‍රකාශකයා සඳහන් කර තිබුණත් එවැනි සාකච්ඡාවක් වූ බවට වාර්තා නොවුණි.
ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවිධ මතවාද සමාජයේ විටෙන් විට ප්‍රකාශයට පත්වුවද එළඹෙන 16-17 දෙදින ඉතා තීරණාත්මක වන බව නම් අවිවාදිතය. ada

0 comments:

Post a Comment