Tuesday, May 11, 2010

වෛද්‍ය සැපයුම් අංශයේ තොග හෙටින් අවසන් - රෝගී ජීවිත අවදානමේ


වෛද්‍ය සැපයුම් අංශයේ මෙම දිනවල පවතින සේලයින් හිඟය හේතුවෙන් රජයේ රෝහල්වලට සේලයින් සැපයිය හැක්‌කේ හෙට (12) දිනය තෙක්‌ පමණක්‌ බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග පවසයි. රජයේ රෝහල්වලද මේ වන විට සේලයින් හිඟයක්‌ පවතී. දැනට වෛද්‍ය සැපයුම් අංශයේ පවතිනුයේ හෙට දිනය තෙක්‌ ප්‍රමාණවත් සේලයින් තොගයක්‌ බව එම ආරංචි මාර්ග මේ සම්බන්ධ හෙළි කරමින් පැවසීය.
රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය ජීවිතාරක්‌ෂක බෙහෙත් වර්ගයක්‌ වන සේලයින් වෛද්‍ය සැපයුම් අංශයේ හා රජයේ රෝහල්වල හිඟවීමට හේතුවී ඇත්තේ ඇනවුම් කර ඇති සේලයින් තොග නිසි කලට ගෙන්වීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව විසින් පියවර නොගැනීම බව සෞඛ්‍ය බලධාරීහු පවසති. මෙසේ හිඟව පවතින සේලයින් ගුවන් හමුදාවට අයත් ගුවන් යානා මගින් වහාම මෙරටට ගෙන්වීමට ඉකුත් සිකුරාදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති රැස්‌වීමකදී තීරණය වී තිබේ. නමුත් එම තීරණය මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇත.lankatruth

ලංකාවට ආ ප්‍රභාකරන්ගේ මවට ඉන්දියාවෙන් කොන්දේසි සහිත වීසා


මැලේසියාවේ සිට ඊයේ ලංකාවට පැමිණි කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මව වන පාර්වති මහත්මියට වෛද්‍ය ප්‍රතිකාර සදහා තමිල්නාඩුවට පැමිණීමට ඉන්දීය රජය වීසා නිකුත් කර ඇත. මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර ඇති රොයිටර් පුවත් සේවය පවසන්නේ ඇයට ඉන්දියාව විසින් වීසා ලබාදීම වෙනුවෙන් කොන්දේසි කිහිපයක් නිකුත් කර ඇති බවයි. පාර්වතී මහත්මිය වෙනුවෙන් ‍කොන්දේසි සහිත වීසා නිකුත් කිරීමට ඉන්දීය රජය ගත් තීරණය පිළිබඳව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කරුණානිධි මහතා ද අදහස් දක්වා ඇත.
ඉන්දියාව විසින් පාර්වතී මහත්මිය වෙනුවෙන් නිකුත් කර ඇති කොන්දේසි අතර ඇය වෛද්‍ය ප්‍රතිකාර ගත යුත්තේ රජයේ රෝහලකින් බවත්, එය ද මාස 06 කට සීමා වන බවත්, ප්‍රතිකාර ගන්නා කාලසීමාව තුළ ඇය රෝහල තුළම රැඳී සිටිය යුතු බවත් දක්වා ඇත. එමෙන්ම මෙම කාලසීමාව තුළ මාධ්‍යවේදීන්, දේශපාලඥයින් හමුනොවීම, තෝරාගත් පිරිසකට පමණක් ඇයව හමුවීමට අවස්ථාව ලබාදීම යනාදියද ඇතුළත්ය.
පසුගිය කාලය පුරා මැලේසියාවේ ජීවත් වූ 80 හැවිරිදි ප්‍රභාකරන්ගේ මව ඊයේ ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.සිවාජිලිංගම් මහතාය. lankatruth

කැලණියෙන් සොරගත් දැරිය මාරවිලින් හමුවේ


මීට දින තුනකට පෙර කැලණිය රාජමහා විහාරයේ දී පැහැරගත් දැරිය මාරවිල නිවසකින් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. ඉඹුල්ගොඩ, ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි සෙනුති ලිමන්සා මාපලගම නමැති අවුරුදු දෙක හමාරක දැරිය පසුගියදා සිය දෙමව්පියන් සමඟ කැලණි විහාරය වන්දනාමාන කරමින් සිටියදී අතුරුදහන් විය.
මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් වැටලීමක් සිදු කළ ද ඇය සොයා ගැනීමට පොලිසියට නොහැකි විය. පසුව මාරවිල ප්‍රදේශයේ කාන්තාවක් සිය අසල්වැසි නිවසේ ආගන්තුක දැරියක් රඳවා සිටින බවට කළ පොලිස් පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදී දැරිය සොයාගැනීමට මාරවිල පොලිසිය සමත්ව ඇත. දැරිය සොයාගත් නිවසේ සිටි 72 හැවිරිදි කාන්තාවගෙන් පොලිසිය කළ විමසීමකදී ඇය පවසා ඇත්තේ සිල් සමාදන් වීමට ආ අවස්ථාවේදී දැරිය කොළඹ පිටකොටුවේ අතරමං වී සිටියදී තමන් රැගෙන ගෙන ආ බවයි.adaderana

මහා පරිමාණ අල්ලස් ගැනත් ‍හොයන්න නියෝගයක්


මහා පරිමාණයෙන් අල්ලස් ලබා ගන්නා පුද්ගලයින් සිටිය දී සුළු වශයෙන් අල්ලස් ලබා ගන්නා පුද්ගලයින් පිටුපස අල්ලස් කොමිසම හඹා යාම හාස්‍යයට කරුණක් බව කොළඹ ප්‍රධාන ‍මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය. ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය මේ බව කියා සිටියේ පිටකොටුව බස් නැවතුම්පොළේ සේවය කළ වේලා සටහන් කරුගේ අල්ලස් නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී ය.
අල්ලස් කොමිසම අක්‍රීය වී ඇති පසුබිමක මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද පිළිබඳව අධිකරණයට දැනුම් දෙන්නැයි කොළඹ ‍ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීන්ට නියෝග කළාය. රුපියල් 100 ක් වැනි අල්ලස් මුදලක් ලබා ගන්නා අය ගැන පමණක් නොව ඉතා විශාල වශයෙන් අල්ලස් මුදල් ලබා ගන්නා පුද්ගලයින් පිළිබඳව ද අල්ලස් කොමිසම අවධානය යොමු කළ යුතු බව චම්පා ජානකී මහත්මිය කියා සිටියාය.
කෝටි ගණනින් අල්ලස් ලබා ගන්නා පුද්ගලයින් සුළු වශයෙන් අල්ලස් ලබා ගන්නා පුද්ගලයින්ගේ ඉරණම තීරණය කරන බව ද විනිසුරුවරිය මෙහි දී වැඩිදුරටත් පැවසුවාය. කෙසේ වෙතත් මෙම අල්ලස් නඩුව යළි විභාගයට ගැනීමට නියමිතය.adaderana

පොදු සමාවක් ගැන කරුණා විශ්වාසයෙන්


දැනට ආරක්ෂක අංශ භාරයේ සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පවුල් වෙත ජනාධිපතිවරයා පොදු සමාවක් දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් මහතා පවසයි.
තමන් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරමින් සිටින බව මුරලිදරන් මහතා සඳහන් කළේය.. අද දෙරණ කළ විමසීමක දී නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන් මහතා මේ අදහස් පළ කළේය. ඔහු වැඩි දුරටත් පවසන පරිදි දැනට ආරක්ෂක අංශ භාරයේ සිටින එල්.ටී.ටී.ඊ යේ හිටපු දේශපාලන අංශ නායක තමිල් සෙල්වම්න්ගේ පවුලේ සාමාජිකයින් සාමාන්‍ය ජීවිත ගත කිරීමේ අපෙක්ෂාවෙන් පසු වේ.
ඒ අනුව තමිල් සෙල්වම්ගේ පවුලේ උදවියට ආර්ථික සංවර්ධන අමාත්‍ය,ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතා පවා හමුවීමට අවස්ථාවක් සලසා දුන් බවද,ඔවුන්ට චෝදනා නැතිනම් ඉදිරියේදී ඉදිරියේදී නීත්‍යනුකූල ලෙස සාමාන්‍ය ජන ජීවිතය ගත කිරීමට අවස්ථාව සලසා දීමට හැකිවෙනු ඇතැයිද හෙතෙම විශිවාසය පළ කළේය. ඔවුන් යුද්ධයට සම්බන්ධ නොවූ බව තමන් විශ්වාස කරන බව ද මුරලිදරන් මහතා පවසයි. මේ හේතුවෙන් ඔවුන් පිළිබඳ සුභවාදී පිළිතුරක් රජයේ පාර්ශවයෙන් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේය. adaaderan

මැතිවරණ කොමසාරිස්වරයාගෙන් දැනුම්දීමක්


පසුගිය මහ මැතිවරණයේ දී දැරීමට සිදු වූ වියදම් සම්බන්ධයෙන් කඩිනමින් මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත වාර්තා කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
අදාළ වාර්තා මේ මස 15 වනදාට පෙර ලැබීමට සලස්වන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා දැනුම් දී ඇත. රජයේ විවිධ දෙපාර්තමේන්තු වල ප්‍රධානීන් ඒ සම්බන්ධ වාර්තා මෙතෙක් ලබා නොදීම හේතුවෙන් මැතිවරණය සඳහා වැය වූ මුදල් පියවීමට මැතිවරණ මහ ලේකම් කාර්යාලයට මෙතෙක් නොහැකි වී ඇති බව වාර්තා වේ.
මැතිවරණ මහ ලේකම් කාර්යා‍ලයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ පසුගිය මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 200 කට ආසන්න මුදලක් වැය වී ඇතැයි අපේක්ෂා කරන බවයි. adaderana

තවත් වෙනස්කම් කිහිපයක්


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුර සඳහා නිමල් වෙල්ගම මහතා පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම සෙසු සාමාජිකයින් ලෙස නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ෂාමේන්ද්‍ර රාජපක්ෂ සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන්ද පත්ව ඇති බව සඳහන්ය. ඒ අතර ටෙලිකොම් ආයතනයේ හිටපු සභාපතිනී ලීෂා ද සිල්වා චන්ද්‍රසේන මහත්මිය ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති ධුරයට පත්ව ඇත.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ බිරිඳ මෙන්ම හිටපු සිවිල් සේවා නිලධාරිණියක ද වන ඉන්ද්‍රනි වීරතුංග මහත්මිය ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හුවමාරුවෙහි ප්‍රධානී තනතුරට පත්කර තිබෙන බවට ද තොරතුරු වාර්තා වේ. adaderana

මෙරටට පංච බල කේන්ද්‍රීය ආර්ථික වැඩපිළිවෙලක්


රටේ සංවර්ධන උපාය මාර්ගයක් ලෙස පංච බල කේන්ද්‍රීය ආර්ථික වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. නිදහස් අධ්‍යාපනය මේ වන විට එක්තරා කඩඉමකට පැමිණ ඇති බව ඔහු සඳහන් කරයි. ඊයේ කෑගලු විද්‍යාලයේ පැවති උත්සව සභාවක් අමතමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.
මෙරටේ වසරකට සාමාන්‍ය පෙළ විභාගයට ළමුන් තුන් ලක්ෂයක් පමණ පෙනී සිටින අතර ඉන් අඩක් පමණ අසමත් වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. අවසන් වරට පැවති සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ළමුන් අතරින් 49% ක් ගණිතය විෂය අසමත් වී ඇති අතර විද්‍යා විෂය 55% ක් මව් බස 20% ක් ද අසමත් වී ඇති බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය. adaderana

ගිනි අවියක් සමග දෙදෙනෙක් අල්ලයි


එම් 16 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත්‍රී ආණමඩුව, පුත්තලම මාර්ගයේ කොට්ටුකච්චිය ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලිසිය ප්‍රකාශ කළේය.
පුත්තලම දෙස සිට ආණමඩුව දෙසට පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රථයක් ලුහු බැඳ ගොස් සිදු කළ පරීක්ෂාවක දී මෙම ගිනි අවිය සො‍යා ගෙන ඇත. ගිනි අවිය සමඟ මැගසින් දෙකක් සහ ජීව උණ්ඩ 30 ක් ද පොලිසිය භාරයට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ආණමඩුව පොලිසිය මේ සම්බන්ධව වැඩි දුර පරීක්ෂණ පවත්වයි.adaderana

බිම් බෝම්බය පිපිරී ප්‍රංශ ජාතිකයා මියයයි


වව්නියාව, ඉරණ ඉරුප්පුකුලම් ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ යෙදී සිටි ප්‍රංශ ජාතිකයෙකු බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට යාමේ දී එය පුපුරා ගොස් ජීවිතක්ෂයට පත් වී තිබේ. ඊයේ දහවල් මෙම පිපිරීම සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජ‍යකොඩි මහතා සඳහන් කළේය. මොහු වව්නියාව ප්‍රදේශයේ ස්විට්සර්ලන්ත රජයේ ආධාර මත ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක බිම් බෝම්බ ඉවත් කිරීමේ විශේෂඥයෙකු බව වාර්තා වේ.
පිපිරීමෙන් තුවාල ලැබු ප්‍රංශ ජාතිකයා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී ඇත. මේ අතර එම ප්‍රංශ ජාතිකයාව වව්නියාව රෝහලට ගෙන ඒමට ගිය ගිලන් රථය අනතුරට පත් වීමෙන් එහි රියදුරු සහ සහයකයාද තුවාල ලබා ඇති බව වාර්තා වේ. වව්නියාව, මඩු පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.adaderana

දශක 3 ක් විඳි වේදනාව අනාගතයට දෙන්නේ නෑ -ජනපති


දශක 3 ක් පැවති කුරිරු ත්‍රස්තවාදයෙන් ජනතාව ලත් වේදනාව අනාගත පරපුරට විඳීමට ඉඩ‍ නොතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජාතික සුහදතාවයට අර්බුදකාරී සිද්ධීන්ගෙන් වූ හානිකර තුවාල සුව කිරීම සඳහා පියවර ගැනීමේ අවශ්‍යතාවය රජය හඳුනාගෙන ඇති බව ඔහු සඳහන් කරයි.
විදේශ තානාපතිවරුන් සමඟ ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යා‍ලයේ පැවති හමුවක් අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. පශ්චාත් අර්බුද අධ්‍යයනය සහ සංහිඳියාව සඳහා කොමිසමක් පත් කිරීමට අදහස් කරන බවත් එහි මූලික කටයුතු අවසන් වෙමින් පවතින බවත් ජනාධිපතිවරයා මෙහි දී දැනුම් දුන්නේය.
ජාතීන් අතර සුහදතාවයෙන්, සහෝදරත්වයෙන් ජීවත් වීම සම්බන්ධයෙන් අපේ ඉතිහාසය ලෝකයටම මඟ පෙන්වන බව ද සඳහන් කළ ජනාධිපතිවරයා ත්‍රස්තවාදයට එරෙහි වැඩපිළිවෙලේ දී මෙන්ම සංවර්ධන ක්‍රියාදාමයේ දී අත හිත දුන් විදේශ රටවලට සිය ස්තූතිය පළ කළේය. මේ අතර උතුරේ පළාත් සභා මැතිවරණය ද හැකි ඉක්මනින් පැවැත්වීම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා එහි දී ජාතික සමගිය සහ සංවර්ධනය සඳහා කැප වූ නායකත්වයක් එම පළාත් වලින් බිහිවනු ඇති බවට ද විශ්වාසය පළ කළේය. adaderana

Monday, May 10, 2010

ගුරුවරු ඉල්ලා දෙමව්පියෝ පොලිසි යයි


වැලිගම සිද්ධාර්ථ ජාතික පාසලේ පවතින උග්‍ර ගුරු හිඟයට බලධාරීන් මේවන තෙක් කිසිදු පිළියමක් නොයෙදීමට එරෙහිව සහ ගුරු හිඟය පියවීමට මැදිහත්වන ලෙස ඉල්ලා දෙමව්පියන් විසින් පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තාවේ.

දෙමව්පියන් මෙලෙස පැමිණිලි කර ඇත්තේ වැලිගම මූලස්ථාන පොලිසිය‍ටය. දෙමවුපියන්ගේ එම පැමිණිල්ලට අනුව පාසලේ විදුහල්පතිවරයා සහ දෙමව්පියන්පොලීසියට කැදවීමට පොලිස්ථානාධිපතිවරයා කටයුතු කර අතර එහිදී විදුහල්පතිවරයා පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමා දැනුම්දිය යුතු සියලුම බලධාරීන්ට දැනුම්දී ඇති බවයි.
එහිදී එම ගැටලුව සම්බන්ධයෙන් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් විමසීමට පොලිස්ථානාධිපතිවරයා කටයුතු කළද එය ප්‍රතිඵල දායක නොවීය.
අවසානයේ පොලිස් ස්ථානාධිපතිවරයා දෙමව්පියන්ට දැනුම්දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් පොලීසියට කළ හැකි ක්‍රියාමාර්ගයක් නොමැති බවයි. හැකිනම් අධ්‍යාපන අමාත්‍යංශයට ගොස් අධ්‍යාපන ඇමතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර බලන ස පොලිස්ථානාධිපතිවරයා දෙමව්පියන්ට දැනුම්දී ඇත.
දෙමවුපියන් පවසන ආකාරයට සිද්ධාර්ථ ජාතික පාසලේ උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සදහා පෙනී සිටින වසර වල සිසුන්ගේ පන්තිවල පවා දැඩි ගුරු හිඟයක් පවතින අතර ඒ හේතුවෙන් එම සිසුන් බලවත් පීඩනයකට ලක්ව තිබේ. එබැවින් මෙම ගැටලුව විසදීමට වහා මැදිහත්වන ලෙස දෙමවුපියන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. lankatruth

මහ බැංකු වාර්තාව පිළිගත නොහැකියි


2009 වර්ෂය සදහා ඉදිරිපත්කර ඇති මහ බැංකු වාර්තාව දෝෂ සහිත සහ පිළිගත නොහැකි දත්ත ඇතුළත් බව මහ බැංකුවේ හිටපු සහකාර අධිපතිනියක වන ආචාර්ය අනුලා ඩයස් මහත්මිය පවසයි.
ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සමග සංවාදයකට එක්වෙමිනි. ඇය පෙන්වා දෙන පරිදි මහ බැංකු වාර්තා වේ ඉදිකිරීම් අංශයේ 5.6% ක වර්ධනයක් අත්පත්කර ගත් බව සදහන් වුවද, ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය 24%කින් සහ දේශීය වශයෙන් අමුද්‍රව්‍ය නිෂ්පාදනයත් අඩුව ඇති බවයි. අමුද්‍රව්‍ය සැපයීම බරපතල කඩා වැටීමක තිබියදී ඉදිකිරීම් අංශය පමණක් වර්ධනයක් අත්පත්කරගන්නේ කෙසේද යන්න ඇය ප්‍රශ්න කරයි.
එමෙන්ම මහ බැංකු වාර්තාවට අනුව වරාය කටයුතු 7%කින් වර්ධනයවී ඇති බව සදහන් වුවද, ආනයනයන් 12%කින් සහ අපනයනයන් 7%කින් අඩුවූ ඇත. එමෙන්ම වරායට පැමිණි නැව් සංඛ්‍යාවද බරපතල ලෙස පහත වැටී තිබේ. එවැනි තත්වයක් තුළ වරාය කටයුතු 7%කින් වර්ධනය වී ඇති බව පැවසීම විහිළුවක් බව අනුලා ඩයස් මහත්මිය පෙන්වා දෙයි.
අනුලා ඩයස් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවර මහ බැංකු වාර්තාවේ ඉහත ආකාරයේ බරපතල අඩු පාඩු රාශියක් ඇති බවයි. එබැවින් එය නැවත සංශෝධනය විය යුතු තත්වයක ඇති බවද ඇය පෙන්වා දෙයි.lankatruth

සිරසට එල්ලවූ ප්‍රහාරයේ විඩියෝ දර්ශනවල සිටින්නන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග


පසුගියදා සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලයට පහරදීමේ සිද්ධිය රූගත කළ වීඩියෝ පටයේ සිටින සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද පොලීසියට නියෝග කළේය.
පහරදීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 14 දෙනෙකු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.
අදාළ සැකකරුවන් රුපියල් 5,000 බැගින් වූ මුදල් ඇප හා රුපියල් 50,000 බැගින් වූ සහතික ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.
සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙකු අද අධිකරණය හමුවට ඉදිරිපත් නොවූ අතර ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් එහිදී කොම්ප‍‍්‍ඤ්ඤ වීදිය පොලීසියට නියෝග කරනු ලැබිණ.
නඩුවට අදාළ වැ‍ඩිදුර විභාගය ජුලි 19 වෙනිදාට කල් තැබිණ.lankatruth

පහරදීමකින් තුවාල ලැබූ යාපනය බන්ධනාගාර රැදවියන් 8 දෙනෙකු රෝහල්ගත කරයි


බරපතල ලෙස පහර කෑම හේතුවෙන් යාපනය බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් 8 දෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කර ඇති බව යාපනය මානව හිමික්ම කොමිෂමේ ප‍්‍රාදේශීය සම්බන්ධීකාරක කාර්යාලය ප‍්‍රකාශ කරයි.
පසුගිය අප්‍රේල් 30 වනදා යාපනය බන්ධනාගාරය තුළදී ඔවුන් මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 20-30ත් අතර වන දමිළ වැසියන් 07 දෙනෙකු සහ මුස්ලීම් තරුණයෙකි.
පහර කෑමෙන් අනතුරුව මැයි මස 04 වෙනිදා තෙක් මොවුන් ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගත කර නොමැත. පසුව යාපනය මහෙස්ත‍්‍රාත්වරයාගේ සෘජු මැදහත් වීමෙන් මෙම පිරිස යාපනය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.lankatruth

අනවසර නිවාසවලට තැබූ 'ගෝඨා බිය' වාහන වීදුරුවලටත්


මින් ඉදිරියට පෞද්ගලික වාහනවල ඉදිරිපස වීදුරුව අඳුරු කිරීම තහනම් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය නියෝග කර ඇත. ශ්‍රී ලංකා රථවාහන පොලිසිය පවසන්නේ වාහනවල ඉදිරිපස වීදුරු අඳුරු කිරීම තහනම් බවත්, එසේ අඳුරු කළ වීදුරු සහිත වාහනවල ගමන් කිරීමේදී ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත්ය. පොලිසිය මෙසේ කටයුතු කරන්නේ ආරක්ෂක අමාත්‍යංශ මගින් කරන ලද නියෝගයකට අනුව බවත්, මෙවැනි ඉදිරිපස වීදුරුව අඳුරු කළ වාහන වැටලීමට පොලිසිය පියවර ගෙන ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.
ආරක්ෂක අමාත්‍යංශය මෙම පියවර ගෙන ඇත්තේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙනු ගත් තීරණයක් අනුව බව ආරක්ෂක අමාත්‍යංශය පවසා ඇත. lankatruth

ජංගම දුරකතන සොරුන්ට සෙනසුරු දසාව


ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන පාරිභෝගියන්ට ඇති වන ප්‍රබලතම ගැටළුව වන සිය ජංගම දුරකතනය නැතිවීම සම්බන්ධයෙන් පිළියමක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම මගින් හඳුන්වා දී ඇත. මෙහිදී විදුලි සංදේශ නියාමන කොමිසම පවසන්නේ සිය ජංගම දුරකතනය අස්ථානගත වූ හෝ සොරකම් කරන ලද හෝ නැතිවූ අවස්ථාවන්හිදී එම ජංගම දුරකතන නැවත සොයාගැනීමට උපකාර කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.
මේ වෙනුවෙන් සිය ජංගම දුරකතනයේ හඳුනාගැනීමේ අංකය "IMEI" අංකය දැන සිටිය යුතු අතර, එය සොයා ගැනීම සඳහා සිය ජංගම දුරකතයෙන් *#06# අංකය ඇමතීමෙන් දැනගත හැකිය. යම් ලෙසකින් සිය දුරකතනය අස්ථානගතවීමෙන් පසු IMEI අංකය නොදන්නේ නම් සිය සබඳතාවය ලබා ගත් දුරකතන ජාලයෙන් එය ලබා ගත හැකිය. එසේ ලබා ගත් IMEI අංකය සමඟ ළඟම ඇති පොලිසියට සිය නැතිවූ ජංගම දුරකතනය පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර එහි පිටපතක් හා දුරකතනයට අදාල සියලු තොරතුරු සමඟ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතුය. මෙසේ අදාල තොරතුරු ඉදිරිපත් කිරීමෙන් සිය නැතිවූ ජංගම දුරකතනය සොයාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසම සහය දැක්වීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.
මෙයට අමතරව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ දුරකතන අංක 011-2662215, 011-2662216, 011-2662222, 011-5376159, 011-4514067 යන අංකවලට හා ක්ෂණික අංක 1900 යන අංකයට අමතා අදාල තොරතුරු ලබා ගත හැකි බව එම කොමිසම දන්වා ඇත.lankatruth

ඒ කැඳහැලිය එහෙමම තිබුණාවේ....


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආඬි හත්දෙනාගේ කැඳහැලිය මෙන් බවත්,එම පක්ෂය යළි යළිත් අගාධයට යන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම අදහස් දැක්වූ අයුරු.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ඛනිජ සම්පත් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ද පසෙකින් සිටියි. adaerana

අධ්‍යාපනය ප්‍රධානම ආදායම කරනවා -එස් .බී


මෙරට ප්‍රධානතම ආදායම් මාර්ගය බවට අධ්‍යාපනය පත් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පවසයි. ජාත්‍යන්තර විශ්ව විද්‍යාල හා ඒකාබද්ධව විශ්ව විද්‍යාල 8ක් මෙරට ආරම්භ කොට එලෙස ආදායම් උපයන බව ඔහු පෙන්වා දෙයි. උඩුනුවර ගෙලිඔය මධ්‍යම මහ විද්‍යාලයේ පැවති උපාධි ධාරීන්ගේ සම්මේලනයක් අමතමින් එස්.බි.දිසානායක අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
මෙරට විශ්ව විද්‍යාලවල පවතින පාඨමාලා අදට ගැළපෙන පරිදි ගුණාත්මක භාවයෙන් වර්ධනය කළ යුතු බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කරයි. එවිට චීනය, ඉන්දියාව සහ පකිස්ථානය ඇතුළු රටවල් රැසක දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ‍මෙරටට පැමිණීමට සිදුවන බව එස්.බි.දිසානායක මහතා පෙන්වා දෙයි. දැඩි උත්සාහයෙන් හා කැපවීමෙන් කටයුතු කළහොත් මෙම අභියෝගයද ජයගත හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

අයහපත් ග්‍රහයන් නිසා රනිල් ඉන්දියාවට


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද සවස දකුණු ඉන්දියාව බලා පිටත්වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙසේ හදිසියේ ඉන්දියාව බලා පිටත්වීමට හේතුව ලෙස එම ආරංචි මාර්ග පෙන්වාදුන්නේ ග්‍රහ පලාඵල අනුව මේ දිනවල රනිල් වික්‍රමසිංහ මහතාට අයහපත් කාල පරිච්ඡේදයක් උදාවී ඇති බවත්, ඒ වෙනුවෙන් ආගමික කටයුතු වල නිරතවීම සඳහා මෙසේ ඉන්දියාව බලා පිටත්ව යන බවත්ය.
කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව විමසා බැලීම සඳහා විශේෂ කමිටුවක් ද පසුගිය සතියේදී පත්කරනු ලැබිණි. හෙට දිනයේදී අදාළ යෝජනා පක්ෂ නායකත්වය වෙත භාරදීමට නියමිතව තිබුණත් ප්‍රායෝගික හේතුන් මත ‍එය තවදුරටත් කල් ගතවන බව ගයන්ත අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කරුණාතිලක මහතා පෙන්වා දුන්නේය. පසුගිය සිකුරාදා දිනයට පෙර පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ යෝජනා කමිටුව වෙත භාරදීමට උපදෙස් දී තිබුණද ඇතැම් මන්ත්‍රීවරුන් තවදුරටත් යෝජනා භාරදෙමින් සිටින බව ‍ද එම කමිටුවේ සභාපති ජෝශප් මයිකල් පෙරේරා මහතා සඳහන් කළේය. adaderana

සෝමාවතියෙන් තවත් මරණයක්..!


ඓතිහාසික සෝමාවතිය චෛත්‍ය වැඳපුදා ගැනීමට ගොස් ඇති වූ තද බදය හේතුවෙන් රෝහල් ගත කෙරුණු තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. මෙසේ මරණයට පත් ව ඇත්තේ පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකි.
පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධිකාරක උපුල් නානායක්කාර මහතා සඳහන් කර සිටියේ රෝහල් ගත කළ තවත් 22 දෙදෙනෙකුගෙන් 8 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි. සෙසු පිරිස ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත් ‍සෝමාවතිය චෛත්‍ය වැඳ පුදා ගැනීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක් රැස් වීම හේතුවෙන් ඇති වූ තදබදය සහ නොසන්සුන් තත්ත්වය මේ වන විට මග හැරී ගොස් ඇති බව දෙරණ වාර්තාකරු සඳහන් ක‍රයි. මෙම තදබදය අතරතුර සෝමාවතී චෛත්‍ය වැඳපුදා ගැනීම සදහා පැමිණි සැදැහැවතුන් දෙදෙනෙකු ඊයේ දිනයේ මිය ගිය අතර තවත් 23 දෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබුණි. adaderana

ඉන්දීය අත්අඩංගුවේ සිටි ධීවර පිරිසක් නිදහස්


ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රි ලාංකීක ධීවරයින් පිරිසක් නිදහස් කර තිබේ. ධීවරයින් 16 දෙනෙකු මෙලෙස නිදහස් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා පැවසුවේය. එම පිරිස ඊයේ දිනයේදී මෙරටට ගෙන ඒමට නාවික හමුදාව පියවර ගෙන ඇත. ධීවරයින් සමඟ යාත්‍රා තුනක්ද තිබු බව වාර්තා වේ.
ඉන්දීය මුහුදු සීමාවේ නීති විරෝධි ලෙස මසුන් මැරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මෙම පි‍රිස"රනිජින්දන්"නම් ඉන්දීය නෞකාව මගින් නාවික හමුදාව වෙත භාරදී තිබේ. නාවික හමුදාවට අයත්"එඩිතර"නෞකාව මගින් ඔවුන් කන්කසන්තුරේ දක්වා ගෙනවිත් ඔවුන්ගේ මුල්ගම්බිම් වෙත පිටත් කර හැරි බව අතුල සෙනරත් මහතා පැවසුවේය. මෙලෙස නිදහස ලබා ‍ඇත්තේ මාතර, නිල්වැල්ල හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ධීවරයින් පිරිසකි. adaderana

ප්‍රතිසංවිධාන යෝජනා සඳුදා රනිල් අතට


එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අදාළ යෝජනා ලබන සඳුදා වන විට පක්ෂ නායකත්වය වෙත භාර‍දෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ගයන්ත කරුණාතිලක මහතා මේ අදහස් පළ කළේය. හෙට දිනයේදී අදාළ යෝජනා පක්ෂ නායකත්වය වෙත භාරදීමට නියමිතව තිබුණත් ප්‍රායෝගික හේතුන් මත ‍එය තවදුරටත් කල් ගත වූ බව ගයන්ත කරුණාතිලක මහතා පෙන්වා දෙයි.
ඒ අනුව පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කමිටුව අද සහ හෙට දිනයේ මෙන්ම ලබන සිකුරාදා දිනයේද රැස් වන බව එම කමිටුවේ සභාපති ජෝෂප් මයිකල් පෙරේරා මහතා සඳහන් කරයි. පසුගිය සිකුරාදා දිනයට පෙර පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ යෝජනා කමිටුව වෙත භාරදීමට උපදෙස් දී තිබුණද ඇතැම් මන්ත්‍රීවරුන් තවදුරටත් යෝජනා භාරදෙමින් සිටින බව ‍ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි.
කෙසේ වෙතත් පක්ෂයේ ඉහළ නිලතල සඳහා පුද්ගලයින් තෝරා ගැනීම ඡන්දයකින් සිදුකළ යුතු බවට ඉදිරිපත් වු යෝජනාව පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක්වන බව ඔහු සඳහන් කරයි. එම යෝජනාව ඇතුළුව පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනා ජුනි මාසයේදී පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ‍ජෝශප් මයිකල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

රාගම වෛද්‍ය පීඨ පිළිකා රෝග රසායනාගාරය විවෘත වේ


කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ අලුතින් ඉදිකෙරුණු පිළිකා රෝග හඳුනා ගැනීමේ හා ප්‍රතිකාර කිරීමේ රසායනාගාරය අද විවෘත කෙරුණි. තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා අතින් එය විවෘත කෙරුණි.
මේ සඳහා වැය කරන ලද මුදල රුපියල් ලක්ෂ 250ක් වේ. මෙම මුදල් පරිත්‍යාග කර ඇත්තේ අන්තර්ජාතික පරමාණු බලශක්ති අධිකාරිය විසිනි. දැනට මෙවැනි රසායනාගාරයක් පවත්වාගෙන යනු ලබන්නේ මහරගම පිළිකා රෝහලේ පමණක් බව රජය පවසයි. adaderana

එජාපය ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගෙයි


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ආඬි හත්දෙනාගේ කැඳ හැලිය මෙන් බව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. කෙතරම් ප්‍රතිසංවිධානයන් සිදුකළ ද එම පක්ෂය යළි යළිත් අගාධයට යන බව ද ඒ මහතා සඳහන් කරයි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ රැඳීසිටිය යුතු බවත්, දිගු කාලයක් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වයේ රැඳීසිටීමේ අවස්ථාව හිමිවන ලෙස ප්‍රාර්ථනා කරන බව ද සිරිසේන මහතා ප්‍රකාශ කළේය. එජාපයේ මෙම තත්ත්වය ආදර්ශයක් කොට ගනිමින් නිදහස් පක්ෂය වඩාත් ශක්තිමත් පක්ෂයක් ලෙස ගොඩනැගීමට කටයුතු කරන බවත් මහ ලේකම්වරයා අවධාරණය කළේය. නව ලෝකයට ගැළපෙන ආකාරයේ වැඩ පිළිවෙළක් ඒ සඳහා දියත් කරන බව ද සිරිසේන මහතා පවසයි. ඒ සඳහා අලුතින් සාමාජිකයන් ලක්ෂයකට අධික පිරිසක් බඳවා ගන්නා බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා මෙහිදී කියා සිටියේය. මේ අතර ජූලි 7 වැනිදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාවද කැඳවීමට තීරණය කර ඇති බව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

‍ඔස්ට්‍රේලියාවට යාමට ගිය පහක් අතුරුදහන්


ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමේ අරමුණින් බෝට්ටුවක ගමන් කරමින් සිටි අනවසර ශ්‍රි ලාංකික සංක්‍රමණිකයින් පස් දෙනෙකු මිය‍ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසයි. ක්‍රියා විරහිත වී තිබු ඔවුන් ගමන් ගත් බෝට්ටුව ඔස්ට්‍රේලියාව ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී සොයාගත් බව එම බලධාරීන් සඳහන් කරයි. බෝට්ටුවේ එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් එහි ගමන් ගත් පි‍රිස පිහිනීමට උත්සාහ දැරීමේදී අනතුරට පත්වන්නට ඇති බවට ඔවුන් සැක පළ කරයි.
අතුරුදන් වුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණද කිසිවෙකුත් සොයා ගැනීමට හැකි වී නැත. ඔස්ට්‍රේලියානු සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය ඉකුත් සතියේ මෙම බෝට්ටුව නීරීක්ෂණය කර ඇති අතර එදිනට පසුදින යළිත් එම බෝට්ටුව බලධාරීන්ට හමුවී ඇත්තේ මගීන්ගෙන් තොරවය. ඒ අනුව බෝට්ටුවේ ගමන් ගත් පිරිස මේ දක්වා ජීවත්ව සිටිය නොහැකි බවට තීරණය කළ එම බලධාරීන් සහන සේවා මෙහෙයුම් නතර කර ඇත. adaderana

මහා පරිමාණ මත්පැන් හලක් වටලයි


හලාවත මුන්නේෂ්වරම් දේවාලය ආසන්නයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පොලිසිය සමත්ව තිබේ. මුන්නේෂ්වරම් පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් කළ මෙහෙයුමකදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නීති විරෝධි මත්පැන් මිලිලීටර් 67,500ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
දේවාලයට පැමිණෙන බැතිමතුන් සහ විවිධ ව්‍යාපාර පවත්වාගෙන යන පිරිස් සඳහා අදාළ සැකකරු විසින් මත්පැන් අලෙවි කර ඇති බව අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ‍ගත් පුද්ගලයා සහ මත්පැන් තොගය අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. adaderana

අවතැන්වූවන්ට ස්ථීර නිවාස


උතුරු නැගෙනහිර අවතැන්වූවන් සඳහා ස්ථීර නිවාස ඉදිකර දීම කඩිනම් කරන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව තුළ ජාතික සැළැස්මක් ඇති කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ මාන්කුලම කාර්යාලයට මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින් වීරවංශ මහතා මේ අදහස් පළ කළේය.
නිවාස ඉදිකිරීමේදී ඊට හවුල් වන සෙසු අමාත්‍යාංශ සියල්ල ඒකරාශී කොට ජාතික සැළැස්මක් ක්‍රියාවට නැංවිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කරයි. උතුරු නැගෙනහිර යළි පදිංචි කෙරුණු ජනතාව සඳහා තාවකාලික නිවාස ඉදිකර දීමට තමන් මෙන්ම රජයද එකඟ නොවන බව සඳහන් කළ වීරවංශ අමාත්‍යවරයා ඔවුන් සියලු දෙනාටම ස්ථීර නිවාස ඉදිකරදීමට කඩිනමින් පියවර ගන්නා බව ප්‍රකාශ කළේය. මෙහිදි වව්නියාව සහ මන්නාරම ප්‍රදේශවල ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම සහ නව නිවාසලාභීන්ට හිමිකම් සහතික ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදුකෙරුණි. adaderana

කඳානේ බෝම්බ පිපිරීමක්


කඳාන ප්‍රදේශයේ අවුරුදු උත්සවයකදී එල්ල වු බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් කොළඹ සහ ‍රාගම රෝහල් වලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.
එම ප්‍රදේශයේ අවුරුදු උත්සවයකට සහභාගි වෙමින් සිටි දෙපිරිසක් අතර ඇතිවු ආරවුලක් දුර දිග යාමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය පවසයි. ප්‍රහාරයෙන් පසු එම ප්‍රදේශයේ හැරදමා තිබු ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් හඳුනාගෙන ඇති අතර කඳාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. adaderana

මධ්‍යම පළාත් විපක්ෂ ලොකු පුටුව ගැන සාකච්ඡාවක්


මධ්‍යම පළාතේ විපක්ෂ නායකවරයා පත් කිරීම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළේය. මේ සඳහා මධ්‍යම පළාතේ එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කොළඹට කැඳවා ඇත.
පුරප්පාඩු වී ඇති මධ්‍යම පළාත් විපක්ෂ නායක ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී කේ.කේ පියදාස මහතා පත් කරනු ලැබීය. මෙම පත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම පළාත් සභා බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල විය. එම නිසා මේ සම්බන්ධයෙන් අවසන් විසඳුමක් ලබා ගැනීම සඳහා මධ්‍යම පළාත් සියලු මන්ත්‍රීවරුන් හමුවීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. adaderana