Thursday, April 15, 2010

මහනුවර ඉන්ධන හිඟයක්


මහනුවර සහ ඒ අවට ප්‍රදේශවල ඉන්ධනහල් රැසක ඉන්ධන හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වේ.
මේ හේතුවෙන්‍ බොහෝ පිරිසක් දුෂ්කරතාවයට පත්ව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. ඊයේ සිට මෙම තත්ත්වය පවතින අතර අද පස්වරුව වන විට මහනුවර නගරයේ එක් පිරවුම්හලකින් පමණක් ඉන්ධන නිකුත් කිරීම සිදුවෙන බව සඳහන්ය. ඉන්ධන ලබාගැනීම සඳහා විශාල වශයෙන් රථවාහන පෝලිම් පවතින බව ද අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.adaderana

පහරදීමකින් තරුණයෙක් මියයයි


වලස්මුල්ල හොරේවෙල, මැදගම්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ පහරදීමකින් තරුණයෙකු මියගොස් තිබේ.
පසුගිය 7 වන දින සිදුවු පහර කෑමෙන් තුවාල ලැබු එම තරුණයා මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද මියගිය බව පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ ජුලම්පිටිය මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි ලසන්ත සංජීව නැමැති 26 හැවිරිදි තරුණයෙකි.
ඔහු රියදුරෙකු වන අතර ලොරි රථයකින් භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටියදී මග අවහිර කිරීමක් හේතුවෙන් ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති අතර වළස්මුල්ල පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබේ. adaderana

මැතිවරණ වෙනසට සූදානම්



මැතිවරණ ක්‍රමයේ වෙනසක් සඳහා මූලික කටයුතු අවසන් කර ඇති බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ සඳහා සියයට සියයක ජනතා අනුමැතිය ලැබී ඇති බව ඔහු සඳහන් ක‍රයි. රජයේ මීළඟ ප්‍රමුඛතම කාර්ය වන්නේ 2010 වසර සඳහා වු අය වැය ඉදිරිපත් කිරීම බව අද දෙරණට විශේෂ ප්‍රකාශයක් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තු මංගල සැසියෙන් පසු එළඹෙන සැසිවාර වලදී ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය.adaderana

මාතර ගම්මාන 2ක් අතර ගැටුමක්


මාතර නාදුවල සහ වටගෙදර යන ගම්මාන අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
ඊයේ රාත්‍රීයේදී මෙම ගැටුම්කාරී තත්ත්වය හටගත් බව තිහගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුදත් මාසිංහ මහතා සඳහන් කළේය. කාළාන්තරයක් තිස්සේ පවතින මතභේදයක් දුරදිග යාම හේතුවෙන් මෙම ගැටුම හටගෙන ඇති බව පොලිසිය පවසයි.
ගැටුමෙන් ‍තුවාල ලැබු 6 දෙනෙකු මාතර රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු ප්‍රතිකාර ලබාගෙන රෝහලින් පිටව ගොස් ඇත. ගැටුම්කාරී තත්ත්වය ඇති කිරීමට මූලික වු පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන තිහගොඩ පොලිසිය ප්‍රකාශ කළේය.adaderana

විදෙස් ගත විශ්‍රාමිකයන් 2000‍කට වැටුප් අහිමියි


මෙරටින් විශ්‍රාම වැටුප් ලබන විදෙස් ගත විශ්‍රාමිකයන් 2000‍ කගේ පමණ විශ්‍රාම වැ‍ටුප් ගෙවීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.
අදාළ පුද්ගලයන්ගේ නිවැරදි තොරතුරු තම දෙපාර්තමේන්තුවට නොලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව විශ්‍රාම වැ‍ටුප් අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ.තිලකරත්න මහතා පවසයි. ඒ අනුව පසුගිය ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම අත්හිටුවා තිබේ. විදෙස් ගත විශ්‍රාමිකයන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම කරුණු අනාවරණය වී ඇති බව සඳහන්ය.adaderana

සියලු බන්ධනාගාරවල හිසතෙල් ගෑමේ උත්සව


අලුත් අවුරුදු චාරිත්‍ර වලට අනුව රටපුරා පිහිටි සියලුම බන්ධනාගාරවල රැඳවියන් වෙනුවෙන් හිසතෙල් ගෑමේ උත්සව පවත්වන බව බන්ධනාගාර කොමසාරිස් ‍‍ජනරාල්, මේජර් ‍ෙජනරාල් වී.ආර්. ද සිල්වා මහතා පවසයි.
මෙවර බන්ධනාගාර රැඳවියන්ට ඉතා සතුටින් අලුත් අවුරුදු සැමරීම සඳහා අවස්ථාව ලබාදීමට හැකි වු බව කොමසාරිස් ‍ ‍ජනරාල්වරයා අවධාරණය කරයි. රක්ෂිත බන්ධනාගාර ගත වුවන්ට පමණක් නොව විවිධ අපරාධ සිදුකිරීම හේතු‍වෙන් සිරදඩුවම් නියම වු රැඳවියන්ට ද මෙවර අවුරුදු උත්සව වලට සහභාගී වීමට හැකි වු බව බන්ධනාගාර කොමසාරිස්වරයා පෙන්වා දෙයි. රැඳවියන්ගේ මානසිකත්වය වඩාත් යහපත් තත්ත්වයකට ගෙන ඒමට මෙවැනි ක්‍රියාමාර්ග පිටුවහලක් වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. adaderana

‍එජාපයේ දරුණුතම පරාජය මෙවරයි


එක්සත් ජාතික පක්ෂය මහනුවර දිස්ත්‍රික්කයේදී ඉතිහාසයේ දරුණුතම පරාජයකට මෙවර මුහුණ දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
නාවලපිටිය හැරුණු විට මහනුවර දිස්ත්‍රික්කයේ සෙසු සියලුම ආසන වල ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය විශිෂ්ට ජයක් ලබා ඇති බව ඒ මහතා පෙන්වා දෙයි. 20 වැනිදා පැවැත්වෙන නාවලපිටියේ ඡන්ද විමසීමෙන් අනතුරුව මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 12න් 8ක් එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමිකර ගන්නා බව කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. adaderana

හිසතෙල් ගෑමේ නැකත අද


අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරෙයි.
ඓතිහාසික තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී හිස‍තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වීමට මේ වන විට සියල්ල සුදානම් කර ඇති බව සඳහන්ය. හිසතෙල් ගෑමේ නැකත උදාවන්නේ අද පෙරවරු 10.06ටය. රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට බෝපත් ද, පයට කොහොඹ පත්ද තබා තෙල් සහ බෝ යුෂ නානු ගා ස්නානය කිරීම යහපත් වන බව අවුරුදු චාරිත්‍ර වල සඳහන් වේ. නව වසරේදී ලෙඩ දුක් වලින් තොර නිදුක් නිරෝගී ජිවිතයක් ගත කිරීමේ අපේක්ෂාවෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදුවන බව ඉතිහාසය දක්වයි. adaderana