Monday, April 12, 2010

ෆොන්සේකා 22 දා පාර්ලිමේන්තු යයි


ලබන අප්‍රේල් මස 22 වන දින පවත්වන්නට නියමිත 7 වන පාර්ලිමේන්තුවේ ප්‍රථම සැසි වාරයට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහභාගී වන බව ජ.වි.පෙ හිටපු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි සියලු වරප්‍රසාද හිමිවීමට නියමිත බව ද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
තමන්ට සිදුවූ අසාධාරණකම් මෙන්ම සියලු ප්‍රෝඩාවන් පාර්ලිමේන්තුව තුළ දී හෙළිදරව් කිරීමට ඔහුට අවස්ථාව සැලසෙන බවද අනුර කුමාර මහතා සඳහන් කළේය.
කැබිනට් ඇමතිවරුන් සංඛ්‍යාව 35 දක්වා අඩු කරන බව මහ මැතිවරණයට පෙර රජය විසින් කියා සිටියද මේ වන විට ඇමතිවරුන් 63 ක් පත් කිරීමට සැලසුම් කර ඇති වගට ආරංචි ලැබී ඇතැයිද ඔහු කියා සිටියේය. adaderana

ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේදී මරා දමයි


ශ්‍රී ලාංකික ජාතිකයෙකු ඉතාලියේ දී ඝාතනය කර තිබේ. 27 හැවිරිදි මෙම ‍පුද්ගලයා ඉතාලියේ වැනීසියේ පිහිටි ඔහුගේ නිවස තුළ ඝාතනයට ලක්ව සිටියදී පොලිසි විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. .
එරට පොලිසිය පවසන පරිදි දින කිහිපයකට පෙර වෙඩි තැබීමකින් මෙම ඝාතනය සිදුකර ඇත..
ඝාතනය සම්බන්ධයෙන් එරට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.adaderana

හමුදා බස්රිය පෙරළී සෙබළෙක් මරුදකියි


වව්නියාව සිට හපුතලේ දක්වා ධාවනය වු හමුදා සෙබළුන් රැගත් බස් රථයක් විල්ගමුව , එළවානන්ද ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබේ..
අනතුරට පත් බස් රථය අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙන බවත්,අනතුරින් එක් හමුදා සෙබළෙකු මියගොස් ඇති බවත් ‍විල්ගමුව පොලිසිය පවසයි...
අනතුරින් බරපතල තුවාල ලබා සිටි තවත් හමුදා සෙබළෙකු පේරාදෙනිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සුළු තුවාල ලබා සිටි තවත් සිව් දෙනෙකු මහියංගන මහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් වේ...
අනතුර සම්බන්ධයෙන් විල්ගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි..adaderana

නාවලපිටියේ දශමයක හෝ අක්‍රමිකතාවක් සිදුවුණේ නෑ


හිටපු ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතාගෙන් සහ නාවලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක සරත් ගාමිණි හෙට්ටිආරච්චි යන අයගෙන් පිළිවෙළින් මිලියන 500 ක් හා මිලියන 1000 ක් වන්දි ඉල්ලා එන්තරවාසි යැවූ බව හිටපු විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඔවුන් විසින් කරන ලද ප්‍රකාශ මගින් තමන්ට සිදු වූ අප කීර්තියට වන්දි ඉල්ලා සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම එන්තර වාසි යැවූ බව අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේය.
නාවලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්දය මධ්‍යස්ථාන කිහිපයක ඡන්දය අහෝසි කිරීම මුළුමනින්ම නීති විරෝධී බවත්,දශමයක හෝ අක්‍රමිකතාවක් ඒවායේ සිදු වී නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
නාවලපිටියේ සිදුවී යයි කියනු ලැබූවද එය එසේ වූ බවට මේ වන තුරුත් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නැති බවත්,අක්‍රමිකතාවන් සිදු වූ බවට කිසිදු සාක්ෂියක් හෝ නැති බවත් හිටපු ඇමතිවරයා පැවසීය.
ඡන්ද මධ්‍යස්ථාන වලට එක්සත් ජාතික පක්ෂයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් සහභාගී නොවීම පමණක් කරුණක් කොට ගෙන ඡන්දය අහෝසි කිරීම පදනම් විරහිත බව අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.adaderana

අවතැන් වූ 80,000ක් තවමත් සහන ගම්මාන වල


මානුෂීය මෙහෙයුම හේතුවෙන් අවතැන් වූ දෙමළ වැසියන් 80,000ක් පමණ තවදුරටත් වව්නියාව සහන ගම්මාන වල රැඳී සිටින බව වාර්තා ‍වේ.
මේ වන විට රජය විසින් අවතැන් වැසියන් එක් ලක්ෂ 93,000ක් පමණ යළි පදිංචි කර තිබේ. තවත් පුද්ගලයින් 28,000ක් පමණ ඔවුන‍්ගේ පෞද්ගලික වාසස්ථාන වලට හා ඥාතීන්ගේ නිවාස වලට පිටත්ව ගොස් ඇති බව රජයේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
මේ අතර උතුරේ සහන ගම්මාන වල රැඳී සිටින අවතැන් ජනතාව‍ වෙනුවෙන් සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය උත්කර්ශවත් අයුරින් සැමරීමට ශ්‍රි ලංකා යුධ හමුදාව පියවරගෙන ඇත. එය ලබන සතිය තුළදී පැවැත්වීමට නියමිතය. මෙම අවුරුදු උත්සවයට සමගාමීව සංස්කෘතික හා සංගීත සංදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. adaderana

මාතර වෙරළේ නාඳුනන මළ සිරුරක්


මාතර ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට වෙරළ තීරයේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.
අද උදෑසන මෙම මළ සිරුර සොයගත් බව පොලිසිය පවසයි. මාතර ‍පොලිසියට ලැබුණු තොරතුරක් ‍මත සොයාගත් මෙම මළ සිරුර අවුරුදු 29ක් පමණ වයසැති තරුණයෙකුගේ බවට හඳුනාගෙන ඇත. මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේදී අද සිදුකිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana

බස් වර්ජනය තවමත් ක්‍රියාත්මකයි


කැකිරාව ලංගම ඩිපෝවෙහි සේවකයන් ආරම්භ කළ බස් රථ වැඩ වර්ජනය අද දිනයේදී ද ක්‍රියාත්මක වේ.
මාර්තු මාසය සඳහා නියමිත වැටුප මෙතෙක් ලබා නොදීම මෙම වර්ජනයට හේතුව වී තිබේ. වර්ජනයේ නිරත සේවක පිරිස සහ ඩිපෝ කලමණාකාරීත්වය අතර ඊයේ මේ පිළිබඳ සාකච්ඡා පැවති අතර එකඟතාවකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව එම සේවකයින් පැවසුවේය. මේ හේතුවෙන් සිංහල අලුත් අවුරුදු සමයට කැකිරාව ප්‍රදේශයට පැමිණෙන ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.adaderana

මත් ද්‍රව්‍ය ඇබ්බැහිය අඩුයි


තරුණයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වර්තමානය තුළ බොහෝ දුරට අඩු වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පවසයි.
මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින්ගෙන් වැඩි ප්‍රමණයක් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් බව ඔවුන් පෙන්වා දෙයි. පසුගිය වසරේ අන්තරායකර ඖෂධ භාවිත කළ පුද්ගලයින් 18,731 දෙනෙකු අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම අත්අඩංගුවට ගත් පිරිස අතර හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 5,431 දෙනෙකු සහ ගංජා ලග තබා පුද්ගලයින් 13,300‍ දෙනෙකු සිටින බව වාර්තා වේ.
එම පිරිසෙන් සියයට 80 කට වැඩි ප්‍රමාණයක් වසය අවුරුදු 30 ඉක්මවු පුද්ගලයින් බව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ කේ.ගමගේ මහතා ප්‍රකාශ කළේය. එයින් වැඩිම පිරිසක් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

වැඩි ගාස්තු අයකරන බස් ගැන පැමිණිලි කරන්න


උත්සව සමයේ නියමිත ගාස්තු ඉක්මවා මුදල් අයකරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටියි.
සීමාව ඉක්මවා මුදල් අයකරන ‍කොන්දොස්තරවරුන් පිළිබඳ පැමිණිලි 0112 333 222 දුරකථන අංකය ඔස‍්සේ දැනුම් දෙන ලෙස එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. එවැනි පැමිණිලි පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බව ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.
කොළඹ සිට බැහැර ප්‍රදේශ සඳහා ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවා ඇති බව ඔවුන් අවධාරණය කළේය. මේ අතර විශේෂ දුම්රිය සේවයක් ද උත්සව සමය වෙනුවෙන් මේ වන විට‍ ආරම්භ කර තිබේ. දිනපතා ධාවනය වන දුම්රිය කිහිපයකට අලුතින් මැදිරි එක්කර ඇති බව ද දුම්රිය පාලක මැදිරිය පවසයි.adaderana

රජය සමග සාකච්ඡාවට සූදානම්


රජය සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
වාර්ගික අර්බුදයට පිළිගත හැකි විසඳුමක් සොයා ගැනීම සඳහා රජය සමග සාකච්ඡා කිරීමට සුදානම් බව එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වු සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා විදෙස් මාධ්‍යයක් වෙත පවසා ඇත. එක්සත් ශ්‍රි ලංකාවක් තුළ වු විසඳුමක් සඳහා ඔවුන් සහය පළ කරන බව ඔහු සඳහන් කර ඇත. එවැනි විසඳුමක් ඉදිරිපත් කරන්නේ නම් තම පක්ෂය ධනාත්මකව පෙනී සිටින බව ද ඔහු සඳහන් කරයි. ඒ සඳහා සෙසු දේශපාලන පක්ෂ සමග ද සාකච්ඡා කළ යුතු බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.
ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බවට රජය ප්‍රකාශ කළද එය කුමන ආකාරයේ සංශෝධනයක් ද පිළිබඳ කිසිදු අදහසක් ඉදිරිපත් කර නොමැති බව ඔහු පෙන්වා දී ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට තුනෙන් දෙකක බලය සම්පුර්ණ කර ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා ගැනීමේ අවස්ථාව පවතින බව වි‍ශ්ලේෂකයින් පෙන්වා දෙයි. මෙවර මැතිවරණයේදී එම සන්ධානයට මන්ත්‍රී ධුර 12ක් හිමි වු අතර එය 14ක් පමණ දක්වා වැඩි වනු ඇති බව අපේක්ෂිතය. adaderana

ඡන්දෙන් පස්සේත් හැප්පී 17 ක් රෝහලේ


පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ‍හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු රෝහල් ගත කර ඇතැයි පැෆ්රල් සංවිධානය පවසයි.
මේ වන විට පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 13ක් වාර්තා වී ඇති බව එහි ‍විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියි.
එයින් නවයක්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකරුවන් අතර සිදුවු ගැටුම් බව ඔහු සඳහන් කළේය.
ගාල්ල , පුත්තලම , නුවරඑළිය සහ කොළඹ යන ප්‍රදේශවලින් වැඩි වශයෙන් සිද්ධීන් වාර්තා වන බව රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය. adaderana