Tuesday, May 11, 2010

දශක 3 ක් විඳි වේදනාව අනාගතයට දෙන්නේ නෑ -ජනපති


දශක 3 ක් පැවති කුරිරු ත්‍රස්තවාදයෙන් ජනතාව ලත් වේදනාව අනාගත පරපුරට විඳීමට ඉඩ‍ නොතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජාතික සුහදතාවයට අර්බුදකාරී සිද්ධීන්ගෙන් වූ හානිකර තුවාල සුව කිරීම සඳහා පියවර ගැනීමේ අවශ්‍යතාවය රජය හඳුනාගෙන ඇති බව ඔහු සඳහන් කරයි.
විදේශ තානාපතිවරුන් සමඟ ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යා‍ලයේ පැවති හමුවක් අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. පශ්චාත් අර්බුද අධ්‍යයනය සහ සංහිඳියාව සඳහා කොමිසමක් පත් කිරීමට අදහස් කරන බවත් එහි මූලික කටයුතු අවසන් වෙමින් පවතින බවත් ජනාධිපතිවරයා මෙහි දී දැනුම් දුන්නේය.
ජාතීන් අතර සුහදතාවයෙන්, සහෝදරත්වයෙන් ජීවත් වීම සම්බන්ධයෙන් අපේ ඉතිහාසය ලෝකයටම මඟ පෙන්වන බව ද සඳහන් කළ ජනාධිපතිවරයා ත්‍රස්තවාදයට එරෙහි වැඩපිළිවෙලේ දී මෙන්ම සංවර්ධන ක්‍රියාදාමයේ දී අත හිත දුන් විදේශ රටවලට සිය ස්තූතිය පළ කළේය. මේ අතර උතුරේ පළාත් සභා මැතිවරණය ද හැකි ඉක්මනින් පැවැත්වීම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා එහි දී ජාතික සමගිය සහ සංවර්ධනය සඳහා කැප වූ නායකත්වයක් එම පළාත් වලින් බිහිවනු ඇති බවට ද විශ්වාසය පළ කළේය. adaderana

0 comments:

Post a Comment