Sunday, June 13, 2010

විධි විධාන වලින් පෙනෙන්නෙ රජයේ ඒකාධිපතීත්වයයි


විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වු යෝජනා, යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන එන ලෙස ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ඉල්ලීමක් කරයි. වත්මන් ජනාධිපතිවරයා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනතාවට පොරොන්දු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අවස්ථා දෙකකට වැඩි ගණනක් එකම පුද්ගලයෙකුට ජනාධිපති ධුරයේ රැඳී සිටීමට අවශ්‍ය විධිවිධාන ගෙන ඒමට උත්සාහ කිරීමෙන් රජයේ ඒකාධිපතීත්වය පිළිබිඹු වන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේය. adaderana

බැංකු කළමනාකරු මුදල් ගෙන පැනයයි


මඩකළපුව ප්‍රදේශයේ පුද්ගලයන්ගේ මුදල් තැන්පත් කළ ආයතනයක කළමනාකරු ඇතුළු නිලධාරීන් එම මුදල් වංචා කර පලා ගොස් ඇතැයි වාර්තා වේ. මඩකළපුව සෙල්වනායගම් වීදියේ පවත්වාගෙන ගිය මෙම ආයතනයේ පුද්ගලයන් 60 දෙනෙකු පමණ මුදල් ආයෝජනය කර තිබේ.

රුපියල් 5,000 ක් ගෙවා සමාජිකත්වය ලැබීමෙන් පසු අදාළ ආයතනයේ මුදල් තැන්පත් කළ හැකි අතර රුපියල් 25,000 සිට ලක්ෂය දක්වා ඇතැම් පුද්ගලයන් එහි මුදල් තැන්පත් කර තිබු බව වාර්තා වේ. තම මුදල් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇති අතර මඩකලපුව පොලිසිය වැ‍ඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.adaderana

දේශපාලනඥයෝ 20% ක් වත් ජනතාව ගැන හිතන්නේ නෑ


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමෙන් රටට වැඩදායි තත්ත්වයක් උදා වන බව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධ රක්ඛිත නාහිමියන් පවසයි. පැරණි ර‍ජදවස රජවරුන් ජිවිතාන්තය දක්වාම රට පාලනය කරමින් රට සංවර්ධනය කළ බව උන්වහන්සේ පෙන්වා දුන්නේය.

ඊයේ පස්වරුවේ එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා බුද්ධ රක්ඛිත මහ නාහිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ අදහස් පළ කළේය. රටේ සිටින දේශපාලනඥයින්ගෙන් 20% ක් වත් රටේ ජනතාව ගැන සිතා කටයුතු නොකරන බව බුද්ධ රක්ඛිත මහ නාහිමියන් මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

පුද්ගල ඝාතනයකට දෙදෙනෙක් අත්අඩංගුවට


ස්වයංක්‍රීය පිස්තෝලයකින් වෙඩි තබා පුද්ගල ඝාතනයක් සිදුකිරීමට සැකපිට කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ වසරේ පෙබරවාරි 08 වන දින රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ කුරුවිට පොලීසිය මොවුන් දෙදෙනා පසුගිය 11 වනදා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

ඝාතනය සිදුකර ඇති බව කියන පිස්තෝලය ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත ශරීරය අද දින ගොඩගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. adaderana

අගමැතිකමේ ශක්තියෙන් ජනතාවට සේවය කරනවා


අගමැතිධූරයේ ශක්තිය යොදාගෙන ජනතාවට සේවය කිරීම තම අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා පවසයි. අගමැති තනතුරේ අයිතිය ඇත්තේ ජනතාවට බව ඔහු පෙන්වාදෙයි.

ඊයේ පස්වරුවේ මහනුවර දංගොල්ල ශ්‍රී තිස්සාරාම විහාරස්ථානයේ අ‍ටවිසි බුද්ධ ප්‍රතිමා බෝධි ප්‍රාකාරයට මුල්ගල තැබීමේ උත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා මේ බව සඳහන් කළේය. දේශපාලන ජාති ආගම් භේද වලින් තොරව සැමදෙනාටම එකලෙස සේවය කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

මහනුවර රිය අනතුරකින් 10කට තුවාලයි


මහනුවර -මහියංගන ප්‍රධාන මාර්ගයේ 35 වන කිලෝමීටර් කණුව අසල සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත. ඊයේ රාත්‍රී 11 ට පමණ කොළඹ සිට මහියංගනය බලා ධාවනය වූ වෑන් රථයක් අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් මෙම අනතුර සිදුවී ඇති බව සඳහන්ය.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු මහියංගනය රෝහලේ ද උඩුදුම්බර හා හසලක රෝහල් වල පුද්ගලයින් තිදෙනෙකු බැගින් ද ප්‍රතිකාර ලබන බව උඩුදුම්බර පොලීසිය සඳහන් කළේය. මෙම අනතුර සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana

ගෙවල් බිඳින හොරෙක් අල්ලයි


ගෙවල් බිඳීම්, දේපල සොරකම් කිරීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු මාතලේ විල්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය, පාදුක්ක, හංවැල්ල යන ප්‍රදේශවල අපරාධ රැසකට සම්බන්ධ බව පොලීසිය සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. සැකකරු සතුව තිබී ඉතාලියේ නිෂ්පාදිත රිවොල්වරයක් සහ එම උණ්ඩ 09ක් සොයා ගෙන ඇති බව සඳහන්ය. ‍ adaderana

රට යන ඇත්තන් වැඩිවෙයි


පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මේ වසරේ පළමු කාර්තුව තුළ විදේශ ගතවන ශ්‍රමික සංඛ්‍යාව 22%කින් වර්ධනය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. මේ වසරේ ජනවාරි මාසයේ සි‍ට මාර්තු මාසය දක්වා වන කාර්තුව තුළ පුද්ගලයින් 67, 310 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ලෝක ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි වර්ධනයක් අත්කර ගැනීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එල්. කේ. රුහුණගේ මහතා සඳහන් කළේය. විශේෂයෙන්ම මැද පෙරදිග රටවලට මේ වසරේ වැඩි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් පිටත්ව ගොස් ඇති බව රුහුණගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. adaderana

සුඛෝපභෝගී දුම්රිය සේවය තවදුරටත්


කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කොළඹ බලා ධාවනය ආරම්භ කළ සුඛෝපභෝගී නගරාන්තර දුම්රිය අඛණ්ඩව දිනපතා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම දුම්රිය දිනකට ගමන් වාර 5 ක් හෝ 6ක් සිදුකරන බව දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. ගුවන් තොටුපළ සඳහා ගමන් කරන මගීන්ගේ පහසුව සඳහා විශේෂයෙන් රාත්‍රී කාලයේ වැඩි ගමන් වාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බව විජය සමරසිංහ මහතා සඳහන් කළේය. adaderana

අර්තාපල් ආනයනයට වැට බැ‍ඳෙයි


අර්තාපල් ආනයනය තහනම් කිරීමට හෝ ආනයන බදු වැඩිකිරීමට කඩිනමින් කටයුතු කරන බව වාරි මාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අර්තාපල් වගාකරන ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

බදුල්ල, වැලිමඩ ප්‍රදේශයේ උමා ඇළ ව්‍යාපෘතියේ පිළිසකර කිරීමේ පළමු අදියර නිමකිරීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.adaderana

ධීවරයින් 5දෙනෙක් ඉන්දියාවේදී බේරාගැනේ


සන්නිවේදන සම්බන්ධතා ගිලිහී තිබූ ශ්‍රී ලාංකික ධීවරයින් 05 දෙනෙකු රැගත් ධීවර යාත්‍රාවක් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන තිබේ. චෙන්නායිහි ශ්‍රී ලාංකික නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ ඉල්ලීමකට අනුව ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් සිදුකළ මෙහෙයුමකදී මෙම ධීවර යාත්‍රාව බේරාගෙන ඇති බව වාර්තා වේ.

පර්ල් ඉෂාරා ලෙස හැඳින්වෙන මෙම යාත්‍රාව මාතර දෙවුන්දර ධීවර වරායෙන් පසුගිය මැයි 06 වනදා ධීවර කටයුතු සඳහා පිටතුව ගොස් ඇත. මැයි 23 වනදා සිට එම යාත්‍රාව සමග තිබූ සියලුම සන්නිවේදන සබඳතා ගිලිහී ගොස් තිබූ බව වාර්තා වේ. ඒ අනුව මෙම යාත්‍රාව සොයාදෙන ලෙස ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇත. පසුව නැව් සහ ගුවන් යානා උපයෝගී කර ගනිමින් ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරීන් මෙහෙයුමක් සිදුකළ අතර සාගර නම් නෞකාවට මෙම යාත්‍රාව සොයා ගැනීමට හැකිවී තිබේ. එසේ බේරාගනු ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් රැගත් යාත්‍රාව විශාඛාපට්නමන්ඩ් වරායෙන් ඉන්දියාවට ගෙන ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. adaderana

හිටපු එල්. ටී. ටී. ඊ සාමාජික යුවල් 53ක විවාහ මංගල්‍යයක්


එල්. ටී. ටී. ඊ සාමාජිකයන්ව සිට පුනරුත්ථාපනය කරන ලද මනාල මනාලියන් යුවල 53ක් නීත්‍යානුකූලව විවාහ කරවීම අද සිදුකෙරේ. පොම්පේමඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී මෙම විවාහ උත්සවය පවත්වන බව පුනරුත්ථාපන කාර්යාංශය භාර බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා ප්‍රකාශ කළේය. adaderana

අනතුර ඉවත්ව යයි


මේ වනවිට ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම 1. 05ට පමණ ඉන්දියන් සාගරයේ නිකොබාර් දූපත් ආසන්නයේ භූ චලනයක් වාර්තා විය. එය රික්ටර් මාපක ඒකක 7. 5ක අගයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙම භූ කම්පනය ඇතිවීමත් සමග කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කළේය.

පසුව එම අනතුරු ඇගවීම ඉවත් කළ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දමයන්ති ඉදිකැටිය හේවගේ මහත්මිය සඳහන් කළාය. මෙම සිදුවූ භූ කම්පනය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට ද බලපා ඇත. විනාඩියක පමණ කාලයක් මෙම භූ කම්පනය පැවති බව වාර්තා වේ. adaderana

ප්‍රතිසංවිධාන යෝජනා දින 10 කින්


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන යෝජනාවලිය ඉදිරි දින 10 ඇතුළත සකස් කර අවසන් වනු ඇති බව බලාපොරොත්තු වන බව එම පක්ෂයේ සභාපති ගාමිණී ජයවික්‍රම මහතා පවසයි. සාර්ථක යෝජනාවලියක් සකස් කිරීම සඳහා යම් කාලයක් ගතවන බව සභාපතිවරයා පෙන්වාදෙයි. adaderana

Saturday, June 12, 2010

තවලන්තැන්න -රම්බොඩ දක්වා ‍පාර වැසෙයි


තවලන්තැන්න සිට රම්බොඩ දක්වා ‍පේරාදෙනිය -නුවරඑළිය ප්‍රධාන මාර්ගය අද (ජූනි 12) පස්වරු 6 .00 සිට හෙට පෙරවරු 8 .00 දක්වා වසා තැබෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතා පවසයි. නුවරඑළිය - පේරාදෙණිය ප්‍රධාන මාර්ගයේ 42 වන කිලෝමීටර් ක‍ණුව අසල නායයෑමේ අවදානමක් පැවතීම නිසා මෙසේ මාර්ගය වසා දැමීමට තීරණය කර ඇත. adaderana

චීනයෙන් මිලියන 200ක මූල්‍යාධාර


හම්බන්තොට වරායේ දෙවන අදියරේ වැඩ කටයුතු සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 200ක මුදලක් ලබාදීමට චීනය එකඟ වී තිබේ. චීන උප අගමැති ශෑන් ඩිජියෑන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර මේ පිළිබඳව දැනුම් දී ඇත. මේ අතර ශ්‍රී ලංකාව හා චීනය අතර ද්වීපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබේ. ‍ තොරතුරු තාක්ෂණ, වරාය, ආර්ථික, ප්‍රවාහන ආදී ක්ෂේත්‍රයන්ට අදාළ ගිවිසුම්වලට දෙරට අතර අත්සන් තැබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

2006 වසරේ සිට ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘති සඳහා චීන රජය ඇමරිකානු ඩොලර් බිලියන 3 .06 ක මූල්‍ය සහනාධාර සපයා ඇත. කොළඹ -කටුනායක අධිවේගී මාර්ගය, නොරෙච්චේලේ ව්‍යාපෘතිය, හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘති කිහිපයක්ම චීන මූල්‍යාධාර සැපයුණු ප්‍රධාන ව්‍යාපෘති අතර වේ. adaerana

එල්.ටී.ටී.ඊ හිතවාදීන්ගේ කුරුමානම වරදියි


එල්.ටී.ටී.ඊ හිතවාදීන් යැයි සැකකෙරෙන පිරිසක් තමිල්නාඩුවේ දුම්රිය මාර්ගයක් පුපුරුවා හැර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. තිරුචිරපලෙයි සිට චෙන්නායි බලා ධාවනය වූ රොක් ෆෝට් එක්ස්ප්‍රස් දුම්රිය ඉලක්ක කරමින් මෙම පුපුරවා හැරීම සිදුකර තිබේ. විල්ලුපුරම් දිස්ත්‍රික්කයට අයත් පේරනි දුම්රිය ස්ථානය ආසන්නයේ අද අලුයම මෙම පිපිරීම සිදුව තිබේ. පිපිරීමෙන් දුම්රිය මාර්ගය අඩි 3ක පමණ ‍කොටසක් කැඩී ගොස් ඇති අතර දුම්රිය නියාමකවරයා විසින් හදිසි තිරිංග යොදා දුම්රිය නතර කිරීම හේතුවෙන් සිදුවීමට තිබූ විශාල හානියක් වැළකුණු බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය පළ කරමින් බෙදාහැරි අත්පත්‍රිකා කිහිපයක් ද දුම්රිය මාර්ගයේ පිපිරීම සිදුවූ ස්ථානයේ තිබී සොයා‍ගෙන තිබේ. adaerana

42 කණුව ළඟින් ප්‍ර‍වේස‍මෙන්


නුවරඑළිය - පේරාදෙණිය ප්‍රධාන මාර්ගයේ 42 වන ‍කි‍ලෝමීටර් ක‍ණුව අසල නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 2009 දෙසැම්බර් මාසයේ ද මෙම ස්ථානයේ නායයෑමේ අවදානමක් පැවති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක එරන්දන හේමවර්ධන මහතා සඳහන් කළේය. පවතින වර්ෂාවත් සමග යළිත් එම ස්ථානයේ නායයෑමේ හැකියාවක් පවතින බව ඔහු පැවසුවේය. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රථවාහන ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.adaderana

නවදිල්ලියේ අතරමංවූවන් ගැන විමර්ශන


ඇෆ්ගනිස්ථානයට ඇතුළු වීමට ගොස් නවදිල්ලියේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. සංචාරක වීසා ලබාගෙන ඉන්දියාව හරහා ඇෆ්ගනිස්ථානයට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු පසුගියදා නවදිල්ලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය භාරයට ගනු ලැබුවේය. ජාඇල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් මගින් මෙම පිරිස නීතිවිරෝධී ලෙස ඇෆ්ගනිස්ථානයට යැවීමට කටයුතු කර ඇති බවට මේ වන විට අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අවශ්‍ය තොරතුරු ලබාගනිමින් සිටින බව වි‍දේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය. adaderana

‍හොර සල්ලිත් එක්ක දෙන්නෙක් දැලේ


රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු ළඟතබාගත් පුද්ගලයින් දෙදෙනකු පිටකොටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පිටකෙ‍ාටුව, බෝධිරාජ මාවතේ වෙළඳ සංකීර්ණයකට පැමිණි පුද්ගලයින් දෙදෙනකු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබාදුන් රුපියල් දහසේ මුදල් නෝට්ටුව ව්‍යාජ එකක් බවට වෙළඳ සැලේ හිමිකරු විසින් හඳුනාගැනීමත් සමග මොවුන් දෙදෙනා වෙළඳසැලේ හිමිකරු සහ සේවකයින් විසින් පරීක්ෂා කර ඇත. එහිදී ඔවුන් සතුව තිබී රුපියල් දහසේ මුදල් නෝට්ටු 47 ක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි. ඉන් අනතුරුව වෙළඳසැලේ හිමිකරු විසින් මුදල් නෝට්ටු සහ සැකකරුවන් දෙදෙනා පිටකෙ‍ාටුව පොලිසියට භාරදී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ඔවුන් සතුව තිබූ මුදල් නෝට්ටු සම්බන්ධ‍ෙයන් වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මගින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය. adaderana

චීන උප අගමැති ජනපති හමුවෙයි


මෙරට සංචාරයක නිරතව සිටින චීන උපඅගමැති ශෑන් ඩිජියෑන් මහතා හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවක් ජනාධිපති මන්දිරයේ දී අද පෙරවරුවේ සිදුවිය. මෙහිදී දෙරටට වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් නායකයින් දෙපළ අවධානය යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. මේ අතර ශ්‍රී ලංකාව හා චීනය අතර ද්වීපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබේ. ‍විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ තොරතුරු තාක්ෂණ, වරාය, ආර්ථික, ප්‍රවාහන ආදී ක්ෂේත්‍රයන්ට අදාළ ගිවිසුම්වලට දෙරට අතර අත්සන් තැබුණු බවයි. චීනයේ උප අගමැති ශෑන් ඩිජියෑන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මෙම ගිවිසුම්වලට අත්සන් තබා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. අගමැති දි.මු. ජයරත්න මහතාගේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා චීන උප අගමැතිවරයා පසුගිය 10 වැනිදා දිවයිනට පැමිණියේය. adaderana

ප්‍රභාකරන්ගේ මවට ඉන්දියාවේ රැදී සිටීමට අවසර


එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මවට ඉන්දියාවට ඇතුළු වීම සඳහා වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි එරට රජය මගින් ලිහිල් කරයි. ඒ අනුව ප්‍රභාකරන්ගේ මවට ඇය‍ෙ‍ග් දියණිය සමග ඉන්දියාවේ රැදී සිටීමට අවසර ලැබී තිබේ. එමෙන්ම පවුලේ ඥාතීන්ට සහ හිතවතුන්ට ඇය මුණගැසීම සඳහා අවසරය ලබාදීමට ද ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ. එහෙත් කිසිඳු දේශපාලකයෙකුට ප්‍රභාකරන්ගේ මව හමුවීමට තහනම් බව ඉන්දීය රජය දැනුම් දෙයි. මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතාගෙන් අද දෙරණ කළ විමසීමක දී ඔහු පැවසුවේ ප්‍රභාකරන්ගේ මව ඉන්දියාවට යැවීම පිළිබඳ ‍මෙතෙක් තීරණය ‍කර නොමැති බවයි. ඇය දැනට වැල්වැටිතුරේ රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම්.කේ. සිවාජිලිංගම් මහතා පැවසුවේය. adaderana

උපත්බර අඩු දරුවන්ට ලෙඩ වැඩියි


උපත් බර අඩු දරුවන්ට වයස්ගත වීමේ දී හෘදරෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග හටගැනීමේ වැඩි අවදානමක් පවතින බව පර්යේෂණයකින් අනාවරණය වෙයි. ජාතික පර්යේෂණ කොමිසම මගින් සිදුකරන ලද පර්යේෂණයදී මේ බව අනාවරණය වී තිබේ. තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසන්නේ බිළි‍ෙඳකු මව් කුස නියමිත පරිදි නොවැඩීම උපත් බර අඩු දරුවන් බිහිවීමට‍ හේතුව බවයි. බිළ‍ිඳෙකුගේ වර්ධනයට බලපාන ජාන හා ජානවල ක්‍රියාකාරීත්වයෙන් ඇති වන ප්‍රෝටීන පිළිබඳව සිදුකළ පර්යේෂණයකින් අනතුරුව එම රෝග අවදානම පිළිබඳව අනාවරණය කරගෙන ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කේ.එම්.තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණ සිදුකර තිබේ. adaderana

ඩග්ලස් දේවානන්දට එරෙහි පෙත්සම මදුරාසියේ දී විභාගයට


ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා අත්අඩංගුවට නොගැනීමට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම යළි සලකා බැලීම ලබන සඳුදා තෙක් කල්දැමීමට මදුරාසි මහාධිකරණය තීරණය කර තිබේ. ඉන්දියානු දෙමළ සංවිධානයක් විසින් ඉදිරිපත් කළ අදාළ පෙත්සම එම්.වයි. ඉක්බාල් සහ ටී.එස්. සිවඥානම් යන විනිසුරුවරුන් ඉදිරියේ ඊයේ සලකා බැලූ අවස්ථාවේ තීරණය ගෙන ඇත. පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් කියා සිටින්නේ ඉන්දියාවට පැමිණ සිටින ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම වහා සිදුකළ යුතු බවයි. 1986 වසරේ ඉන්දියාවේ සිදුවූ ඝාතන හා පැහැරගැනීම් සිද්ධියක් සම්බන්ධයෙන් ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. 1987 දී ඔහුට එරෙහිව චෙන්නයි අධිකරණයක් හමුවේ චෝදනා ගොනු කර ඇති බව ද වාර්තා වෙයි. මේ පිළිබඳ අදහස් දක්වමින් ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ 1987 දී අත්සන් තැබුණු ඉන්දු ලංකා ගිවිසුමට අනුව ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට පැමිණි දෙමළ සන්නද්ධ සාමාජිකයින්ට සමාව ලැබුණු බවයි. adaderana

ඉන්ධන මිල වෙනස ගැන තවම හිතලා නෑ -සුසිල්


ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය මෙ‍තෙක් අවධානය යොමු කර නොමැති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. ලෝක වෙළඳපළේ තෙල් මිල ඉහළ ගොස් ඇති නමුත් දැනට ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන සඳහා එය බලපා නොමැති බව ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත් ලෝක වෙළඳපළේ පවතින මිලට ලබා ගන්නා තෙල් ලංකාවට ගෙන ඒම ඉදිරි මාසයක කාලය තුළ සිදුවනු ඇති බව සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා කියා සිටියි. ඉන්ධන මිල තවත් නොබෝ කාලයක් වත්මන් මිල මට්ටමේම පවතිනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. adaderana

දකුණේ බස් ගාස්තු සංශෝධනයට


දකුණු පළාතේ බස් ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ගාස්තු අය කිරීමේ ඇති විෂමතා පිළිබඳ බස් හිමියන් සහ බස් මගින් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම ගාස්තු සංශෝධනය සිදුකළ බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි. ඒ අනුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් බස් රථ ගමන් ගන්නා දුර ප්‍රධාන සාධකය ලෙස සලකා ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

දකුණු පළාතේ මාර්ග 388 ක බස් ධාවනය පිළිබඳ අධීක්ෂණ කටයුතු නිම කර ඇති බව පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා කියා සිටියි. එම මාර්ග 388න් 221 ක බස් ගාස්තු අඩු කිරීමටත් මාර්ග 54 ගාස්තු ඉහළ නැංවීමටත් නියමිත බව මහ ඇමතිවරයා පවසයි. සෙසු මාර්ග 113හි බස් ගාස්තු වල වෙනසක් සිදුනොවන බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා සඳහන් කරයි. නව බස් ගාස්තු සංශෝධනය මෙම මස 19 වැනිදා සිට ක්‍රියාවට නැංවෙනු ඇත. adaderana

මාළු හිඟය පියවන්න පිටරටින් මාළු


මේ දිනවල පවතින මාළු හිඟයට පිළියමක් වශයෙන් පිටරටින් මාළු ආනයනය කර පාරිභෝගිකයන්ට ලබාදීමේ විශේෂ වැඩසටහනක් ධීවර සංස්ථාව මගින් ආරම්භ කර තිබේ. ඒ අනුව ආනයනය කළ ප්‍රථම මාළු තොගය වශයෙන් තලපත් මාළු කි‍ලෝග්‍රෑම් 55,000 ක තොගයක් පසුගියදා දිවයිනට ළඟාවිය.

මෙම මාළු කිලෝවක මිල රුපියල් 420ක ස්ථාවර අගයක පවත්වාගෙන යාමට කටයුතු කරන බව ධීවර සංස්ථාවේ සභාපති මහීල් පී සේනාධීර මහතා පැවසුවේය. එමෙන්ම කෙලවල්ලා මාළු සඳහා පවතින ආනයනික බද්ද ඉවත් කිරීමට ද සාකච්ඡා පවත්වන බව සඳහන්ය. adaderana

ජූනි 29 පළමුවරට පාර්ලිමේන්තුව සැදෑවේ රැස්වේ


අද දින පාර්ලිමේන්තුව අවසන් වීමෙන් පසුව ජුනි මස 29 වැනි අඟහරුවදා පස්වරු 2ට යළි රැස්වීමට තීරණය කර තිබේ. පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයට අනුව පාර්ලිමේන්තුව පස්වරුවේ රැස්වන ප්‍රථම අවස්ථාව මෙය වේ. අයවැය දෙවන වර කියවීමේ විවාදය ලබන 30 වැනිදා ආරම්භ වීමට නියමිත බව සඳහන්ය.

එදින පෙරවරු 9. 30 සිට රාත්‍රී 9. 30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වේ. ජුලි දෙවැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. ජුලි තුන්වන සෙනසුරාදා ද පාර්ලිමේන්තුව පෙරවරු 9. 30 සිට පස්වරු 6. 00 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ. adaderana

ඉරනමඩු වාර්ෂික සංවත්සරය සමරා පින්කම්


ඉරනමඩු ගුවන් පථය එල්. ටී. ටී. ඊ පාලනයෙන් මුදවාගෙන වසරක් ගතවීම සමරමින් විශේෂ පින්කම් කිහිපයක් සංවිධානය කර ඇත. 2009 වසරේ ජූනි මස 21 වන දින ඉරනමඩු ගුවන් පථය ගුවන් හමුදාව මගින් එල්. ටී. ටී. ඊ ග්‍රහණයෙන් මුදවාගනු ලැබීය. ඒ අනුව එම මුදවාගැනීමෙන් වසරක් ගතවන ජූනි 21 වන දින රාමනාදපුරම් විද්‍යාලයේ ද්‍රවිඩ සිසුන් වෙනුවෙන් මෙම පින්කම පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.

සිසුන් 150 දෙනෙකුට පාසල් බෑග් හා පොත් බෙදාදීම, ගුවන් හමුදා වෛද්‍ය ඒකකය මගින් පවත්වන වෛද්‍ය සායනය, සිසුන් හා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය බෙදාදීම යන අවස්ථා මෙම විශේෂ පින්කමට අයත්ය. එමෙන්ම රත්නපුරම් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ගුවන් හමුදා සංගීත කණ්ඩායම හා සංස්කෘතික කණ්ඩායම විසින් සංගීත ප්‍රසංගයක් ද පවත්වනු ලැබේ. adaderana

සුසිල් කිඳෙල්පිටියට ඇප ලැබෙයි


එම්.ටී.වී/එම්.බී.සී ආයතනයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, හිටපු කොළඹ දිස්ත්‍රීක් එ.ජා.ප මහ මැතිවරණ අපේක්ෂක සුසිල් කිඳෙල්පිටිය මහතා ඇප පිට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබේ.
මිරිහාන පොලීසිය විසින් පසුගිය අප්‍රේල් මස 02 වන දින අත්අඩංගුවට ගත් සුසිල් කිඳෙල්පිටිය මහතා ප්‍රථම වරට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ අප්‍රේල් මස 03 වනදාය.
මිරිහාන පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ කාන්තාවක් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිර‍කරගෙන තබා ගැනීම , නීතී විරෝධී ලෙස ගිනි අවියක් භාවිතා කිරීම , නාවික හමුදාවෙන් පළා ගිය සෙබළෙකුට නවාතැන් පහසුකම් ලබා දීම ඇතුළු චෝදනා රැසක් සැකකරුට එරෙහිව ඉදිරිපත් වී ඇති බවයි. adaderana